මැතිවරණ කොමිසමේ තවත් සාමාජිකයෙක්ට මරණ තර්ජන

by Staff writer 28-01-2023 | 7:11 PM

COLOMBO (News 1st) - සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජාතික මැතිවරණ කොමිසමේ කොමසාරිස්වරයෙකු වන එම්. එම්. මොහොමඩ් මහතාට තර්ජනය කර ඇතැයි එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, වට්ස්ඇප් හා දුරකතන ඇමතුම් මගින් මරණීය තර්ජනය කරමින් ඊයේ (27) රාත්‍රියේ එම ඇමතුම ලබාදී ඇති බවය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව එම්. එම්. මොහොමඩ් මහතාගේ නිවසට විශේෂ ආරක්ෂාවක් සැපයූ බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසුවේ, කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නැයි මීට පෙර මරණීය තර්ජන එල්ල වූ එස්. බී. දිවාරත්න සහ කේ. පී. පී. පතිරණ යන මහත්වරුන්ට ද යළිත් වරක් දුරකතන ඇමතුම් මගින් තර්ජනය කර ඇති බවයි.

මේ අතර පී. එස්. එම්. චාල්ස් මහත්මිය මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වූ බවට වාර්තා පළවුව ද ඒ පිළිබඳ ඇය විසින් හෝ ජනාධිපති කාර්යාලය විසින් තමන් වෙත දැනුවත් කර නොමැති බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.