පල්ලේගම හේමරතන නාහිමිපාණන්ට අටමස්ථානාධිපති ධුරයේ සන්නස් පත්‍රය ජනපති පිළිගන්වයි

by Staff writer 28-01-2023 | 7:32 PM

COLOMBO (News 1st) - අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමිපාණන් වහන්සේ වෙත අනුරාධපුර අටමස්ථානාධිපති ධුරයට අදාළ සන්නස් පත්‍රය පිළිගැන්වීම අද (28) පස්වරුවේ සිදු කෙරුණි.

ඒ, ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධි මහ මළුවේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ය.

සන්නස් පත්‍රය පිළිගැන්වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අභිනව නා හිමියන් වෙත විජිනිපත පිළිගැන්විය.

පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්, නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක හිමිනමක් ලෙස දශක ගණනාවක් ශාසනික සේවාවක නිරත වූ උන්වහන්සේ රුවන්වැලි සෑ විහාරාධිකාරී ධුරයට පත්වූයේ 1997 වසරේදීයි.

අටමස්ථානාධිපති ලෙස වැඩවිසූ පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ අපවත්වීමත් සමග පල්ලේගම හේමරතන හිමියන් පසුගිය දා එම ධුරයට පත් කෙරුණි.

පල්ලේගම හේමරතන හිමියන් සැළකෙන්නේ, මෙරට ගීත සාහිත්‍යයට ද කැපී පෙනෙ දායකත්වයක් දැක් වූ හිමිනමක් ලෙසයි.