මණ්ඩලයට එරෙහිව අධිකරණයට යෑමේ තීරණයක්

එකඟතා කැඩුවොත් මණ්ඩලය එරෙහිව නඩු මගට යනවා,,මානව හිමිකම් කොමිසම අනතුරු අඟවයි

by Staff writer 27-01-2023 | 7:13 AM

COLOMBO (News 1st) - ඇති කරගත් එකඟතාව කඩකරමින් විදුලිය කප්පාදු කිරීම හේතුවෙන්, ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා සහ විදුලි බල අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු නිලධාරින්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කර ඇතැයි මානව හිමිකම් කොමිසම පවසයි.

මානව හිමිකම් කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු  සඳහන් කළේ, ලබාදුන් එකඟතා කඩ කරමින් ඊයේ (26)  දිනයේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකින් විදුලිය කප්පාදු කර ඇති බවට පැමිණිලි ඉදිරිපත් වූ  බවයි.

විදුලි බල මණ්ඩලය සහ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය, රටේ නීතියට නිගරුකරමින්  අත්තනෝමතිකව කටයුතු කරන බවක් නිරීක්ෂණය වී ඇතැයි, මානව හිමිකම් කොමිසමේ ප්‍රකාශකයා සඳහන් කළේ ය.

ඔහු සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමකම් කවුන්සිලයටද පැමිණිලි කිරිමට සිදු වනු ඇති බවයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ විදුලිය කප්පාදුවක් සිදු නොකිරීමට පසුගියදා විදුලි බල මණ්ඩලය මානව හිමිකම් කොමිසමේදී එකඟතාවය පළ කළේ ය.
     
මේ අතර මහජන උපයෝගීතා කොමිසම, මනාව හිමිකම් කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යවමින් දන්වා ඇත්තේ ජනවාරි 26 වැනිදා සිට පෙබරවාරි 17 දක්වා කාලය තුළ විදුලිය කප්පාදු කිරීමක් කොමිසම අනුමත නොකරන බවයි.

මානව හිමිකම් කොමිසමේ දී විධානයක් ලෙස නිකුත්කළ සමථයට අනුව මෙම කාලසීමාවේ අඛණ්ඩ විදුලිය සැපයුමක් පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙස විදුලි බල මණ්ඩලයට විධායනක් දී ඇති බවද, මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයාගේ ලිපියේ සඳහන් වේ.

මේ අතර මානව හිමිකම් කොමිසම අවධාරණය කරන්නේ, විධානයක් ලෙස සිදුවූ සමථය අනුව ක්‍රියා නොකරන්නේ නම් 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 21 වන වගන්තිය අනුව කටයුතු කිරීමට හැකියාව ඇති බවයි.