සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..

සර්ව පාක්ෂික සමුළුව ඇරඹේ..

by Staff writer 26-01-2023 | 6:41 PM

COLOMBO (News 1st) - ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්වපාක්ෂික හමුවක් අද (26) පස්වරුවේ ආරම්භ විය. 

ඒ සඳහා සහභාගී වීම සදහා ජනාධිපති කාර්යාලයට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු රැසක් පැමිණියේ ය. 

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට මේ සඳහා සහභාගි වන ලෙස ආරාධනා කර තිබේ. 

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, සංහිඳියාව වැඩිදියුණු කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. 

නමුත් අප කළ විමසීමකදී සමගි ජන බලවේගය පැවසුවේ ඔවුන් මේ සඳහා සහභාගී නොවන බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සදහා සහභාගී වන බව පැවසුවේ ය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ සුමන්දිරන් මහතා සඳහන් කළේ, තම පක්ෂය ජනාධිපතිවරයා කැඳවූ රැස්වීමට සහභාගී වන බවයි.

නමුත් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ වන ප්ලොට් සහ ටෙලෝ සංවිධාන ඊට සහභාගී නොවන බව කියා සිටියේ ය.

පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ සඳහා සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ ය.  

නිදහස ජනතා සභාව සහ උත්තර ලංකා සභාගය ද මේ සඳහා සහභාගී වන්නේ නැහැ.

ජාතික ජන බලවේගයද සර්ව පාක්ෂික හමුව සඳහා සහාභාගි නොව බව අප කළ විමසීමකදී තහවුරු කළේ ය.