බිල වැඩි කරන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

විදුලි බිල වැඩි කරන කැබිනට් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක්

by Staff Writer . 24-01-2023 | 2:15 PM

COLOMBO (News 1st) - ජනවාරි මස 01 වැනිදා සිට විදුලි බිල්පත් ගාස්තු ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට අද රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය. 

ඒ, විදුලි පාරිභෝගිකයින්ගේ සංගමය, එහි ලේකම් සංජීව ධම්මික, පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ හා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු සංවිධාන සහ පුද්ගලයින් පිරිසක් විසිනි. 

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, කැබිනට් මණ්ඩලයේ සියලු සාමාජිකයින් ඇතුලු පිරිසක් නම් කොට තිබේ. 

මේ අවස්ථාවේ විදුලි බිල යළි ඉහළ නොදමන ලෙසට මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිර්දේශ කර තිබියදී එම නිර්දේශ නොතකා කැබිනට් මණ්ඩලය එම තීරණය ගෙන ඇති බව පෙත්සමෙන් පෙන්වා දී තිබේ. 

එම තීරණය නීතීවිරෝධී බවත්, ස්වාධින කොමිෂන් සභාවක් වන මහජන උපයෝගීතා කොමිෂන් සභාවට එලෙස බලකිරීමේ බලයක් වගඋත්තරකරුවන්ට නොමැති බවත්, පෙත්සමේ සඳහන් ය.

එබැවින් හදිසි කරුණක් ලෙස සලකා මෙම පෙත්සම ලබන 27 වනදා විවෘත අධිකරණය හමුවේදී කැඳවීමට අවසර ලබා දෙන ලෙස පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.