රාජ්‍ය සේවක වැටුප් හෙට ගෙවීමට පියවර ගන්නවා

රාජ්‍ය සේවක වැටුප් හෙට දිනයේ ගෙවීමට හැකි සෑම පියවරක් ම ගන්නවා - මුදල් අමාත්‍යාංශය

by Staff writer 24-01-2023 | 9:46 AM

COLOMBO (News 1st) - රාජ්‍ය සේවකයින්ට හෙට (25) දිනය තුළ වැටුප් ගෙවීමට හැකි සෑම පියවරක් ම ගන්නා බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඊට අවශ්‍ය කටයුතු මේ වනවිට සූදානම් කරමින් ඇති බවයි.

රජයේ විධායක සහ විධායක නොවන සියලු සේවකයින් වෙනුවෙන් එලෙස වැටුප් ගෙවීමට කටයුතු කරන බව එම නිලධාරියා පැවසුවේ ය.

මේ අතර රජයේ විදයම් කළමනාකරණය කර ගැනීම සඳහා රජයේ විධායක නිලධාරීන්ගේ වැටුප දින කිහිපයකට පසුව ගෙවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පසුගිය දා හිමි විය.

රජයේ විධායක නොවන නිලධාරීන්ගේ වැටුප නියමිත දිනට ගෙවීමට තීරණය කර ඇති බව ද කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා ප්‍රකාශ කළේ ය .