සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද මැතිවරණ කොමිසමට

පුංචි ඡන්දයට සැරසෙන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද මැතිවරණ කොමිසම හමුවට

by Staff writer 24-01-2023 | 6:33 AM

COLOMBO (News 1st) - පළාත් පාලන මැතිවරණයට තරග කිරීමට නියමිත සියලු දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අද (24) ජාතික මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබේ.

පළාත් පාලන මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම දේශපාලන පක්ෂ හමුවන පළමු අවස්ථාව මෙයයි.

එහිදී ඉදිරි මැතිවරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් දැනුවත් කරනු ඇති.

මේ අතර උසස් පෙළ අපේක්ෂකයින්ට බාධාවක් ඇති නොවන පරිදි මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන්නැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව, මැතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දෙනු ඇත.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ, මැතිවරණ නීති කඩකිරීමෙන් තොරව සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බවයි.

පළාත් පාලන මැතිවරණය මාර්තු 9 වැනි දා පැවැත්වීමට දින නියම කර තිබේ.

මේ අතර පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද අයැදුම්පත් භාර ගැනීම ඊයේ අවසන් විය.

මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, කොමිසමට ලැබුණු අයැදුම්පත්‍ කඩිනමින් අදාළ මැතිවරණ කාර්යාලය වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.