CARAT 2023 මැරීන් අභ්‍යාසය ඇරඹේ..

CARAT 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාසය මුල්ලිකුලම්හිදී ඇරඹේ..

by Staff writer 22-01-2023 | 9:16 PM

COLOMBO (News 1st) - 2023 වර්ෂයේ අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ශාන්තිකර නෞකා සමූහය විසින් පවත්වනු ලබන CARAT 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ මැරීන් අභ්‍යාසය ඊයේ(21) දිනයේදී  මුල්ලිකුලම් හීදී ආරම්භ විය.


ශ්‍රී ලංකා නාවික නෞකා භරණ ආයතනයේ අණදෙන නිලධාරී කපිතාන් සංජීව කොඩිකාරගේ සහ අමෙරිකා එක්සත් ජනපද හතරවන මැරීන් බලඝණයේ, දෙවන බලඇණියේ අණදෙන නිලධාරී, කපිතාන් ශාන් මන්ඩ්‍රයාර් වන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙනි.


මේ අතර එහි මානුෂිය ආධාර සහ ආපදා සහන අභ්‍යාසයක්  අද වයඹ නාවික විධානයේ මුල්ලිකුලම් වෙරළ කේන්ද්‍රකර ගිනිමින් පැවැත්විය.

CARAT– 2023 ද්වීපාර්ශ්වික අභ්‍යාසයේ ගොඩබිම් අදියර ආරම්භ කරමින්, සංග්‍රාමික අවස්ථාවකදී තුවාලකරුවන් සඳහා පහසුකම් සැලසීම, සංග්‍රාමික අවස්ථාවකදී ජීවිත බේරාගැනීම, කැළෑබද සටන් සහ නගරබද භූමියක හමුදා මෙහෙයුම් හා මුදවා ගැනීමේ මෙහෙයුම් පිළිබඳව එකාබද්ධ පුහුණු අභ්‍යාස ඊයේ දිනයේදි පැවැත්විණි.

අද ක්‍රියාත්මක මානුෂීය සහ ආපදා සහන අභ්‍යාසය යටතේ ආපදා අවස්ථාවකදී මහ ජනතාවට සහන සැළසීම සඳහා  මානුෂිය ආධාර රැගත් රථ සහ පිරිස් ගොඩබිමට රැගෙන ඒම අමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ ලැන්ඩින් ක්‍රාෆ්ට් එයාර් කෘස් වර්ගයේ යාත්‍රා දෙකක් මගින් සිදු කළ අතර එවැනි අභ්‍යාසයකදී අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබාදීම ද මෙහිදී සිදු කෙරුණි.

මෙම අවස්ථාවට වයඹ නාවික විධානයේ අඥාපති රියර් අද්මිරාල් නිශාන්ත පීරිස් මහතා ඇතලු ඉහළ නිලධාරීන් පිරිසක් එක්විය.