ආලවඩන යන තේරුම බෝසත් කම සකි

ආලවඩන යන තේරුම බෝසත් කම සකි

by Staff writer 22-01-2023 | 4:49 PM

COLOMBO ( News 1st ) – 

“ආලවඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැඳුරේ නැති හීනෙකි සකි.
ආලේ බිඳුණ දා කුමකට කදුළු හෙළනු සකි
ආලවඩන යන තේරුම බෝසත් කම සකි“

සාහිත්‍යය කන්නද කියලා අහපු යුගයකින් පස්සේ ඇති වුණු බරපතලම ඛේදවාචකයක් පසුගියදා කොළඹ සරසවි පරිශ්‍රය ආශ්‍රිතව වාර්තා වුණා.

කතාවට ප්‍රවිශ්ඨයක් ගන්න හුලවාලි චිත්‍රපටයේ පද පෙළක් සඳහන් කරන්නම්.

ප්‍රේමයට දෙන නිර්වචන පුද්ගලානුබද්ධයි.

 කෙනෙකුට ප්‍රේමය කියන්නේ පරිත්‍යාගයක්. තව කෙනෙකුට අයිති කර ගැනීමක්. තවත් කෙනෙකුට බලා සිටීමක්. අත්හැරීමක්. ප්‍රතික්ෂේප වීමක්. 

ඒත්...

ආදරය, ප්‍රේමය කියන්නේ පරාර්ථකාමී පරිත්‍යාගයක් මිස ආත්මාර්ථකාමී ඉල්ලීමක් නෙමෙයි.

 නොලැබෙන කොට වියරු වැටීමකුත් නෙමෙයි. 

මුලින් සඳහන් කරපු ගී පද ඇතුළේ ආදරේ ගැන හරි අපූරු තේරුමක් තියෙනවා.
ප්‍රේමය කියන්නෙම අත්හැරීමක් කියල.

ප්‍රතික්ෂේපවීම්, අත්හැරීම් දරාගන්න බැරි නම් එතන ප්‍රේමයක් නෑ. 

මනුස්සයෙකුට සාර්ථකත්වය කරා ළඟා වෙන්න යහපත් පුද්ගල සබඳතා කියන්නේ අත්‍යවශ්‍ය කාරණයක්.

 ප්‍රේමය ඕනෑම මනුස්සයෙකුගේ ජීවිතයේ සාර්ථකත්වයට සෘජුවම බලපානවා. නමුත් ඇතැම් කාරණා නිසා ජීවිත අසාර්ථකත්වයටත් බලපාන්නේ ප්‍රේමයමයි.
 
කොළඹ සරසවියේ එකත්,  එහෙම සිද්ධියක්. 

ඒ සිදුවීමත් එක්ක සමාජයට ලබා දෙන පණිවිඩයයි ඉතා වැදගත් වෙන්නෙ.

දරුවන්ට පොඩි කාලේ ඉඳලම උගන්වන්න ඕන දිනන්න විතරක්ම නෙමෙයි. පරදින්න, ප්‍රතික්ෂේප වෙන්න, අහිමි වීමක් දරාගන්න දරුවෙකුට පුරුදු කරන්න ඕන. 

අන්න එතකොට විභාගයක් ෆේල් වුණාම හෝ, තමන්ගේ පාට්නර් දාලා ගියාම හෝ ජීවිතේ නැති කරගන්න හිතෙන්නේ නෑ. තව ජීවිතයක් නැති කරන්න හිතෙන්නෙත් නෑ.

 දරුවෙකුට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන එකේ වරදක් නෑ. හැබැයි ඒ අතරම සංවේදී හදවතක් සහිත දරුවෙක් නිර්මාණය කරන්න. මොකද වටිනාම දේ තමයි ජීවිතේ. 

දුකත් එක්ක ජීවිතේ ජයගත්ත මිනිස්සු ඕන තරම් ඉන්නවා.

සරත්චන්ද්‍රයන් මනමේ ලිව්වේ තමන්ගේ බිරිඳ තමන් දාලා ගිය දුක තුනී කරගන්නලු.

සිංහබාහු ලිව්වේ තමන්ගේ දියණිය තමන් දාලා ගිය දුක තුනී කරගන්නලු.

විරහව වචනවලට පෙරළපු මිනිස්සු ප්‍රසිද්ධ ගායක ගායිකාවෝ වුණා.

ඒකපාර්ශ්වීය ප්‍රේමයක් ගැන කියවෙන අමරසිරි පීරිස් ගයන "මගේ පුංචි රෝසමලේ" ගීතය ..

"මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවනම්
ආසයි මං කවුළු පියන් ඇරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න"

ඉතිං, කුමරියනි තරහක් නෑ නැවිත් ඉන්න

ආදරේ කියන්නෙ හිමි කරගැනීමම නෙමෙයි.. 

එහෙම හිතන්න හයියක් එන්නෙ, පිහිය වෙනුවට පෑන අතට ගත්ත මිනිස්සුන්ට..ගෑණුන්ට..
 
බූට් එක මැරෙන්න නෙමෙයි ගොඩයන්න පොයින්ට් එකක් කරගන්න. එතනයි ජීවිතේ දිනන්නේ.

ආදරේ කියන්නේ ජීවිතේ සක්සස් කරගන්න කරන බිස්නස් එකේ පාර්ට් ටයිම් ජොබ් එකක් විතරයි

 ප්‍රතික්ෂේප වීමක් , අත්හැර දැමීමක් නිසා බලෙන් හරි අයිති කරගැනීම, නැත්නම් මරාගෙන මැරෙන එක ප්‍රේමය නෙවෙයි.

Relationships Break up වෙලා ලේවලින් පළි ගන්න තැන දක්වා දුර යනවා නම් දෙකක් නෑ, ඒක උමතුවක්. 

වදනකින්වත් නොරිදවන ප්‍රේමයක් යනු, ජීවිතය මත සදාතනිකව ගැයෙන සෙත් කවියක්.

මම ඔබගෙන් අහන්නෙ එකම එක ප්‍රශ්නයක්. 

ප්‍රේමය යනු ප්‍රේමය ම මිස අන් කවරක්ද ?