රදැල්ල මාරක අනතුර සිදු වූයේ කෙසේද?

රදැල්ල මාරක අනතුර සිදු වූයේ කෙසේද?

by Staff writer 21-01-2023 | 9:58 PM

COLOMBO (News 1st) - නානුඔය රදැල්ල රිය අනතුරෙන් තුවාල ලබා රෝහල්ගත කළ 43 කු අද(19) දහවල් පිටව ගිය බව නුවරඑළිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය මහේන්ද්‍ර සේනානායක මහතා පවසයි.

ඔහු සඳහන් කළේ තවත් 6 කු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවය.

තවත් 4 කු රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

කෙසේවෙතත් බස් රථ අනතුරින් පසු නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ඊයේ රාත්‍රී සිදුවූ මෙම අනතුරින් හත්දෙනෙකුට ජීවිත අහිමිවිය.

මෙසේ ජීවිත අහිමිවුණේ පාසල් සිසුන් රැගත් බස්රථයේ ගැටුණු වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් 6 දෙනකුට සහ ත්‍රීරෝදරථ රියැදුරකුට ය. 

බස් රථයේ හැපී අනතුරට ලක්වූ වෑන්රථය ගමන් කරමින් තිබුණේ දික්ඔය සිට නුවර එළිය දක්වාය. එහි සහෝදරයින් දෙදෙනෙකුගේ පවුල්වල සාමාජිකයින් ගමන් කරමින් සිට තිබුණි. 

ඔවුන් නුවරඑළිය බලායමින් සිටියේ රෝගීවූ ඥාතියෙකුගේ සුවදුක් බැලීම සඳහා ය. 

අනතුරින් හැටන් දික්ඔය පදිංචි 55 හැවිරිදි අබ්දුල් රහීන්, ඔහුගේ බිරිඳ වන 45 හැවිරිදි ආයිෂා ෆාතිමා, ඔවුන්ගේ දියණියන් වන, 13 හැවිරිදි ෆාතිමා මරියම් සහ 8 හැවරිදි ෆාතිමා නබීහාට ජීවිත අහිමිවිය. 

බරපතළ තුවාල ලැබූ එම පවුලේ අනෙක් දැරිය මේ වනවිට නුවරඑළිය මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රථිකාර ලබයි.

ඇය මෙවර උසස්පෙළ විභාගය සඳහා සූදානම්ව සිටි සිසුවියකි.

ඔවුන් සමග අනතුරට ලක්වුණු අබ්දුල් රහීන්ගේ සොහොයුරාගේ පුත්‍රයෙකු වන 14 හැවිරිදි අහමඩ් සාහීන්ට ද ජීවිතය අහිමිවිය. 

හැටන් ශාන්ත ජෝන් බොස්කෝ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සාහීන්, පාපන්දු සහ අත්පන්දු ක්‍රීඩාවට විශේෂ දස්කම් පෑ දරුවෙකි.

අනතුරට පත් වෑන් රථයේ රියදුරු වන දික්ඔය කුඩාගම පදිංචි, වයස අවුරුදු 25 ක් වන, නේසරාජ් පිල්ලේ ද ජීවිතක්ෂයට පත්විය. 

මෙම බස්රථය සමග තවත් බස් රථ 6ක් අධ්‍යාපන චාරිකාවට ගොස් තිබුණි.
නුවරඑළියේ සිට කොළඹට පැමිණෙමින් තිබූ බස් රථය, දික්ඔයේ සිට නුවරඑළිය බලා ගමන් ගත් වෑන් රථයක හා පසුපසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටී අසළ ප්‍රපාතයට ඇදී ගොස් තිබුණි.

මෙම ස්ථානය අනතුරු බහුලව සිදුවන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති අතර පසුගිය දින කිහිපය තුළත් මාරාන්තික රිය අනතුරු කිහිපයක්ම සිදුවූ ස්ථානයකි.

බස් රථය අනතුරට පත් වන විට, කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ 11 වැනි වසරේ සිසුන් 42 ක්, ගුරුවරුන් සහ මවුපියන් ඇතුළු 53 දෙනෙක් හිඳ තිබේ.

මීටර් 50 ක පමණ ප්‍රපාතයට ඇදීගිය, බස්රථයේ සිටි සිසුන් මෙන්ම වෑන් රථය සහ ත්‍රීරෝද රථයේ පැමිණි පිරිස් රෝහල් ගත කළේ ආරක්ෂක අංශවල සහ ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිවය.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිතීඥ නිහාල් තල්දූව මහතා

"මෙම බස්රථය පදවපු  රියදුරා හොරණ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62ක පමණ පුද්ගලයෙක්. දැනට ස්ථිර හේතුව මොකද්ද කියලා මොන කාරණය නිසාද මේ අනතුර සිදු වන්නේ කියලා අනාවරණය කරගන්න බැ. බස්රථයේ රියදුරත් මේ වන විට තුවාල ලබලා ඔහු දැන් ප්‍රතිකාර ලබනවා නුවර එළිය රෝහලේ ඒවගේම වැන් රථයේ රියදුරා මියගොස් තිබෙනවා. බැලු බැල්මට පෙනි යන තත්ත්වයක් තියනවා බස් රථයේ යම් කිසි නොසැලකිල්ලක් තිබෙනවා. නමුත් එය ස්ථිරව කියන්න බැ. මොන හේතුවක් නිසාද කාර්මික දෝශයක්ද ? නැත්තම් වෙනත් හේතුවක් නිසා වෙච්ච දෙයක්ද පැහැදිලිව තවදුරටත් විමර්ශන නිලදාරින් විසින් නිගමනය කරලා නැ. ඒ වගේම විමර්ශන වලදි අනාවරණය විමක් වෙලා නැ."