ශ්‍රී ලංකාවට සහය වීමට ඉන්දියාව සූදානම්

හැකි සෑම අයුරකින්ම ශ්‍රී ලංකාවට සහය වීමට සූදානම්... ඉන්දිය විදේශ ඇමති අගමැතිට කියයි

by Sagarika Chathumali 20-01-2023 | 3:13 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකාවේ ඉදිරි කටයුතු සාර්ථක කරගැනීම සඳහා හැකි සෑම ආකාරයකින්ම ශ්‍රී ලංකාවට සහය වන බවට  ඉන්දිය විදේශ අමාත්‍ය ජයශංකර් මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පැවසුවේ, ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහාය' පිළිබඳ අරලියගහ මන්දිරයේදී අද පැවති සාකච්ඡාවේදී  ඉන්දිය විදේශ අමාත්‍යවරයා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා   මේ බව සඳහන් කළ බවයි. 

ශ්‍රී ලංකාව මෙම ආර්ථික අර්බුදයෙන් ඉක්මනින් ගොඩඑනු ඇතැයි, ඉන්දියාව විශ්වාස කරන බව ද ඉන්දීය විදේශ අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත. 

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ආරම්භ වූ අවස්ථාවේදී ණය ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 4 ක් ලබාදීම සහ විශ්වාසවන්ත සහ සමීප මිතුරෙකු ලෙස අඛණ්ඩව ලබා දෙන ආධාර සහ සහයෝගය පිළිබඳවත් ඉන්දියාවට ස්තුතිය පළ කර ඇති අග්‍රාමාත්‍යවරයා  යෝජිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් (IMF) පැකේජයට ඉන්දියාව පූර්ණ සහයෝගය ලබා දෙන බවට ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික වීම පිළිබඳව ද  ඉන්දියාවට සිය ස්තූතිය පළ කර ඇත.  

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත විදුලි ජාල සම්බන්ධතාව පිළිබඳව අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්දීය ආයෝජන සිදුකරන ලෙසයි. 

පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා වූ ඉන්දීය ණය ක්‍රමය යටතේ සහාය  බලාපොරොත්තු වන බව මෙම සාකච්ඡාවට සහභාගී වූ  ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසා ඇත. 

එහිදී ඉන්දීය අමාත්‍යවරයා පවසා ඇත්තේ, කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ යෝජිත හවුලකාරිත්ව ව්‍යාපෘතිය පිළිබඳව සලකා බැලීමට තමන් සුදානම් බවයි. 
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, අතිරේක ලේකම් මහින්ද ගුණරත්න යන මහත්වරුන් ද  එක්ව සිටි බවයි.