ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි

නිල සංචාරය නිම කරමින් ඉන්දීය විදේශ ඇමති දිවයිනෙන් පිටව යයි

by Staff writer 20-01-2023 | 5:49 PM

COLOMBO (News 1st) - නිල සංචාරය නිම කරමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අද (20) පෙරවරුවේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද හමුවිය.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, “ද්වීපාර්ශ්වික සබඳතා, ඒකාබද්ධ ව්‍යාපෘති සහ ශ්‍රී ලංකාවට ලබාදෙන ඉන්දියානු සහය” පිළිබඳව එහිදී අවධානය යොමු වූ බවයි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත විදුලි ජාල සම්බන්ධතාව පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු වී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සඳහන් කළේ, පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ඉල්ලා සිටි බවයි.

සුළං සහ හිරු රශ්මිය බහුලව පවතින රටක් බැවින් එවැනි පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා විශාල හැකියාවක් ඇතැයි මෙහිදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ජයශංකර් මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු අග්‍රාමාත්‍යවරයාට දැනුම්දී ඇත්තේ, කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා කැලණිවැලි දුම්රිය මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා ද රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වක් ලෙස යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සළකා බැලීමට සූදානම් බවයි.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර හමුවක් ද අද කොළඹදී සිදු විය.

විපක්ෂ නායක කාර්යාලය නිවේදනය කළේ, එහිදී ද්වීපාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කළ බවයි.

ශ්‍රී ලංකාවේ සමස්ත ජනතාවගේ සුබ සිද්ධිය උදෙසා ඉන්දීය රජයේ සහයෝගය අඛණ්ඩව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා එහිදී ඉන්දීය විදේශ අමාත්‍යවරයාගෙන් ඉල්ලා තිබේ.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද හමුවිය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු රැසක් එහිදී සාකච්ඡා කළ බවයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ද අද ඉන්දීය විදේශ අමාත්‍යවරයා හමුවිය.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ, මෙරටට ගෙන් වූ බස් රථ කිහිපයක් සංකේතාත්මකව ලබාදීමේ වැඩසටනක් ද ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී සිදු කෙරුණි.

ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ, මේ වසර තුළ බස් රථ 600 ක් මෙරටට ගෙන්වීමට නියමිතයි.