කල්මුණේට නාමයෝජනා භාරගැනීම තවදුරටත් වළකයි

පුංචි ඡන්දය: කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වැළකූ අතුරු තහනම් නියෝගය දීර්ඝ කෙරේ

by Staff writer 19-01-2023 | 4:09 PM

COLOMBO (News 1st) -ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර තිබූ  අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගය අවසන් වනතුරු දීර්ඝ කළේ ය. 

ඒ,කල්මුණේ නගර සභාවට නාමයෝජනා භාරගැනීම අභියෝගයට ලක් කරමින් අහමඩ් ලෙබ්බේ මොහොමඩ් සලීම් හා අහමඩ් රහීම් මොහොමඩ් හසීම් යන සයින්දමර්දු ප්‍රදේශවාසීන් දෙදෙනෙකු ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සළකා බලමිනි.

ඔවුන් සිය මුලික අයිතිවාසිකම් පෙත්සම්වලින් පෙන්වා තිබුණේ, තමන් මීට පෙර සයින්දමර්දු නගර සභා බල ප්‍රදේශයට  අයත්ව සිටියත්, මෙවර පළාත් පළාත්පාලන මැතිවරණයට අදාළව සීමා නිර්ණයේ දී  තමන් කල්මුණේ නගර සභා බල ප්‍රදේශයට අයත්වීම තුළින් තම අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි. 

විජිත් මලල්ගොඩ , යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඩුල්ල අද (19) මෙම පෙත්සම් විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේ ය. 

මේ අතර පෙත්සමෙන් වග උත්තරකරුවන් කර තිබූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමාජිකයන් , සීමා නීර්ණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජීකයන් හා  අම්පාර තේරීම්භාර නිලධාරී සහ සහකාර තේරීම්භාර නිලධාරී ඇතුළු වග උත්තරකරුවන්ට නැවත නොතීසි යැවීමට ද විනිසුරු මඩුල්ල නියෝග කළේ ය. 

ශ්‍රී  ලංකා මුස්ලිම් කොංග්‍රසය වෙනුවෙන් අද (19)  අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ නිශාන් කාරියප්පන් මහතා ප්‍රකාශ කළේ, තම පක්ෂය ද මෙම පෙත්සම් වලට අතරමැදි පාර්ශවකරුවෙකු ලෙස මැදිහත් වන බවයි.