නවසීලන්තය පැරදු ඉන්දියාවට ලකුණු 12 ජයක්

නවසීලන්ත - ඉන්දීය එක්දින තරගාවලියේ පළමු තරගයේ ජය ඉන්දියාවට

by Staff writer 19-01-2023 | 8:31 AM

COLOMBO (News 1st) - නවසීලන්තයට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක ඉන්දීය කණ්ඩායම ලකුණු 12 කින් ජය ගෙන තිබේ.

හයිද්‍රාබාද්හිදී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 2 ලකුණු 88කදී බිඳ වැටුණි.

නායක රෝහිත් ශර්මා ලකුණු 34කට දැවී ගිය අතර විරාත් කෝලි ලකුණු 8 යි.

ඉන්දීය පිතිකරුවන් කිහිප දෙනෙක්ම අඩු ලකුණු සංඛ්‍යාවකට පිටියෙන් ඉවත් වෙද්දී කණ්ඩායමේ බර කරට ගත් ශුබ්මන් ගිල් පන්දු 149 කින් වේගවත් ලකුණු 208ක් රැස් කළේ ය.

23 හැවිරිදි ඔහු වාර්තා අතරට එක් වූයේ, එක්දින ද්විත්ව ශතකයක් රැස් කළ ලොව ලාබාලතම ක්‍රීඩකයා ලෙසයි.

හෙන්රි ශිප්ලි සහ ඩැරල් මිචෙල් අතර කඩුලු 2 බැගින් බෙදී ගියේ ය.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 349 කි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 337ක් පමණි.

මයිකල් බ්‍රේස්වෙල් සමග එක් වූ මිචෙල් සැන්ට්නර් 7 වැනි කඩුල්ලට ලකුණු 162ක සබඳතාවක් ගොඩනැගුවේ ය.

3 වැනි එක්දින අර්ධ ශතකය ද සමගින් මිචෙල් සැන්ට්නර් ලකුණු 57යි.

මයිකල් බ්‍රේස්වෙල් ලකුණු 140 ක් රැස් කළ අතර එය ඔහුගේ දෙවැනි එක්දින ශතකය ද වේ.

මොහොමඩ් සිරාජ් කඩුලු 4යි.