පෙබ. 07ට පෙර ධුරයෙන් ඉල්ලා අස්වෙනවා

අභියෝගවලට මුහුණ දිය නොහැකි නම්, ඉවත්වී රට වැසියන් ගැන සිතා සුදුස්සන්ට අවස්ථාව දිය යුතුයි - ධුරය හැර යන්නට තීරණය කළ නවසීලන්ත අගමැතිනිය කියයි

by Staff writer 19-01-2023 | 3:00 PM

COLOMBO ( News 1st ) - නව නායකත්වයකට  අවස්ථාව සලසමින්  නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා අර්ඩන් මහත්මිය අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ. 

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පවසා ඇත්තේ, පෙබරවාරි 7 වනදා වනවිට සිය ධුර කාලය අවසන් වනු ඇති බවත්  ඉන් අතරුව තවදුරටත් රැඳී නොසිටින බවයි.

අග්‍රාමාත්‍යවරිය පවසන්නේ, තවදුරටත් අග්‍රාමාත්‍යධූරය දැරිය නොහැකි බවයි.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ, රටකට නායකත්වය දීම ඕනෑම කෙනෙකුට කළ හැකි වරප්‍රසාද රැසක් ලැබෙන ධුරයක් වුවත් එය අභියෝග රැසකින් සමන්විත වන බවයි. 

එම අභියෝගවලට මුහුණ දීමට තමන්ට හැකියාවක් නොමැති නම් ඉන් ඉවත්ව රටවැසියන් ගැන සිතා සුදුස්සන්ට අවස්ථාව ලබා දිය යුතු බව ද ඇය  පවසන්නී ය. 

 ''සාමකාමී කාලයක් හරහා රටකට නායකත්වය දීම එකක්...නමුත් අර්බුද හරහා රටකට නායකත්වයදීම තවත් දෙයක්'' 

2017 වසරේදී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ලෙස  තේරී පත් වූ 37 හැවිරිදි අර්ඩර්න් මහත්මිය  වාර්තා අතරට එක්වූයේ, ලොව ලාබාලතම  කාන්තා රාජ්‍ය  නායිකාව ලෙසයි.

අභියෝගාත්මක වසර හයක කාලයක් ඇය විසින් අග්‍රාමාත්‍යධූරය හෙබවීය.  

අග්‍රාමාත්‍ය ධුරයට පත්වී වසරකට පසු දරුවකු ප්‍රසූත කළ ඇය යළිත් වාර්තා අතරට එක්වූයේ,  රාජ්‍ය නායිකාවකව සිටියදී දරුවකු ප්‍රසූත කළ ලොව දෙවන රාජ්‍ය නායිකාව ලෙසයි.  
 
මෑත කාලීනව නවසීලන්තයේ සිදු වූ සුවිශේෂි සිදුවීම්වලදී අර්ඩන් මුළු ලෝකයේම අවධානය දිනා ගත් අතර   නවසීලතය තුළ කොවිඩ් වසංගත ව්‍යාප්තිය පාලනයට ගත් පියවර බොහෝ දෙනාගේ පැසසුමට ලක් විය.