යුක්‍රේන ජනාධිපති උපදේශකවරයා තනතුරට සමුදෙයි

''වරදක් වුණා. සමාව දෙන්න.. '' යුක්‍රේන ජනාධිපති උපදේශකවරයා තනතුරට සමුදෙයි

by Sagarika Chathumali 18-01-2023 | 12:58 PM

COLOMBO (News 1st) - යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සිලේන්ස්කිගේ උපදේශක ඕලෙස්කි අරොස්ටර්විච් සිය තනතුරින් ඉල්ලා අස්වී තිබේ. 

ඒ, ජීවිත 40කට වැඩි සංඛ්‍යාවක් බිලි ගනිමින් කිව් අගනුවර මහල්  නිවාස සංකීරණයකට එල්ල වූ රුසියානු මිසයිල ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාව අයදිමිනි. 

පසුගිය සෙනසුරාදා ඩිනිප්‍රෝහි මහල් ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාරය එල්ල වී පැය කිහිපයකට පසු ඕලෙස්කි  ප්‍රකාශ කර තිබුණේ, යුක්‍රේන ආරක්ෂක අංශ  විසින් වෙඩි තබා බිම හෙළීමෙන් පසු රුසියානු මිසයිලය මහල්  නිවාස සංකීරණය මතට වැටී ඇති බවට පෙනෙනට ඇති බවයි. 

කෙසේ වෙතත් යුක්‍රේන බලධාරීන් පසුව පැවසුවේ, රුසියාව එල්ල කළ  Kh-22 මිසයිලයක් මෙම ගොඩනැගිල්ලට වැදී ඇති බවත්, එය වෙඩි තබා බිම හෙළීමේ හැකියාවක් නොමැති බවත් ය.  
 
සාමාජ මාධ්‍යයෙහි  අතිශය ජනප්‍රිය ඉහළ පෙළ රාජ්‍ය නිලධාරියෙකු වූ  ඕලෙස්කිගේ මෙම ප්‍රකාශය රට පුරාම ලැව්ගින්නක් මෙන් පැතිර ගියේ, බොහෝ යුක්‍රේන වැසියන් අතර කෝපය  ද දනවමිනි.

තවද යුක්‍රේන වැසියන් කෝපයට පත් ජනතාව ජනාධිපති උපදේශකවරයාට ප්‍රතිචාර දකවා තිබුණේ, ඔහු රුසියාවේ සාවද්‍ය ප්‍රචාර ශක්තිමත් කරමින් සිටින බවට ද චෝදනා කරමිනි. 

මේ අතර යුක්‍රේන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ද   ජනාධිපති උපදේකවරයාට විරෝධයක් එල්ල වූ අතර රාජ්‍ය සේවයෙන් පහ කරන්නැයි, ඉල්ලමින් පෙත්සමක් ද අත්සන් කර  කළේ ය.
 
ඒ අනුව තමන් වරදක් කළ බවත් ඊට සමාව දෙන ලෙසත් ඉල්ලමින් ජනාධිපති උපදේශකවරයා තනතුරින් සමු ගැනීමට තීරණය කර ඇත. 

ඕලෙස්කි ජීවිතක්ෂයටත් පත්වූන්ගේ පවුල්වලින්  සහ සිය ප්‍රකාශයෙන් සිත් රිදුණු සියල්ලන්ගෙන් සමාව අයදිමින් ටෙලිග්‍රෑම් ඔස්සේ දීර්ඝ සටහනක් ද තබා තිබේ.

යුක්‍රේන යුද්ධයට අදාළ ප්‍රකාශ සිදු කළ  යුක්‍රේන පාලනයේ  පුමුඛ පෙළ කැපී පෙනෙන චරිත අතරින් කෙනෙකු වූ ඕලෙස්කි   මිලියන 1.6කට වැඩි ග්‍රහකයින් පිරිසක් සිටින සිය යූ ටියුබ් චැනලය ඔස්සේ රුසියානු - යුක්‍රේන යුද්ධයට අදාළව දෛනිකව බොහෝ සාකච්ඡා පවත්වා ඇත. 

තව ද  යුක්රේන ජනාධිපති වොලොදිමීර් සිලේන්ස්කිගේ  උපදේශක ඕලෙස්කි යුක්‍රේන භාෂාවට වඩා රුසියානු බස මානාව හසුරුවන පුද්ගලයෙකු වීම ද විශේෂත්වයකි. 


කෙසේ වෙතත්  සිය උපදේශකවරයාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් යුක්‍රේන ජනාධිපතිවරයා මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නොමැත.