ඇෆ්ගනිස්ථානයේ NGO සේවිකාවෝ වැඩ අරඹති..

රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන් ඇෆ්ගනිස්ථානයේ ඇතැම් රාජකාරි කටයුතු නැවතත් අරඹයි..

by Staff writer 18-01-2023 | 9:32 AM

COLOMBO (News 1st) - රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන් ඇෆ්ගනිස්ථානයේ ඇතැම් රාජකාරි කටයුතු නැවතත් ආරම්භ කර තිබේ. 

ඒ, සෞඛ්‍ය සහ පෝෂණ වැනි අත්‍යාවශ්‍ය ක්ෂේත්‍රවල සේවය කිරීමට තලේබාන් බලධාරීන් කාන්තාවන්ට අවසර ලබා දීමෙන් පසුවයි. 

ඒ අනුව මේ වනවිට රාජ්‍ය නොවන සංවිධාන 3ක සේවිකාවන් රාජකාරි කටයුතු ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් ය. 

රාජ්‍ය නොවන සංවිධානවල සේවිකාවන්ට රැකියාවල නිරත වීම තහනම් කරමින් පසුගිය මාසයේදී තලේබාන් බලධාරීන් නියෝගයක් නිකුත් කළේ ය.

ඒ ඇතැම් සේවිකාවන්, තෙලෙබන්වරුන්ගේ නීති පද්ධතියට අනුව ඇඳුම් සහ පැළඳුම් භාවිත නොකිරීම හේතුවෙනි. 

කෙසේවෙතත් ඇෆ්ගනිස්ථානයේ සිවිල් කාන්තාවන් සහ කුඩා ළමුන් පිළිබඳ, ඇතැම් සෞඛ්‍ය හා පෝෂණ කටයුතුවලදී කාන්තාවන්ගේ සහභාගීත්වය අත්‍යවශ්‍ය යැයි රාජ්‍ය නොවන සංවිධාන තලේබාන් පාලකයින්ට පෙන්වා දී තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඒ අනුව තලේබාන් බලධාරීන් මෙම අවසරය රාජ්‍ය නොවන සංවිධාන වෙත ලබා දුන් බවයි.