සරසවි සිසුවිය ඝාතනය කළ සැකකරු රිමාන්ඩ්..

ගෙල කපා සරසවි සිසුවිය ඝාතනය කළ සැකකාර සරසවි සිසුවා රිමාන්ඩ්..

by Staff writer 18-01-2023 | 5:50 PM

COLOMBO ( News 1st ) - ගෙල කපා විශ්වවිද්‍යාල සිසුවිය ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ලබන 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. 

ඒ , ඔහු අද (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය. 

කොළඹ තුරඟ තරග පිටියේ දී 24 හැවිරිදි විශ්වවිද්‍යාල සිසුවියගේ ගෙල කපා ඝාතනය කර පළා යමින් සිටිය දී සැකකාර විශ්වවිද්‍යාල සිසුවා කුරුඳුවත්ත පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරු වසර ගණනාවක් තිස්සේ එක්තරා මානසික රෝග තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබන අයෙකු බැවින් ඔහුට රෝහල්ගත කර අවශ්‍ය මානසික ප්‍රතිකාර ලබා දෙන ලෙස, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ, උපුල් රණසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.

ඉල්ලීම සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ , සැකකරු කොළඹ ජාතික රෝහලේ, ජාතික මානසික විද්‍යා ආයතනයේ සෞඛ්‍ය විශේෂඥ මානසික වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස ය. 

මෙසේ ඝාතනයට ලක්වුණේ, කොළඹ විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨයේ තෙවැනි වසරේ ඉගෙනුම ලැබු සිසුවියකි.