පැය 24 තුළ රිය අනතුරු නිසා පුද්ගලයින් 8ක් මරුට

පැය 24 ක් තුළ සිදුවූ රිය අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට

by Staff writer 16-01-2023 | 9:46 AM

COLOMBO ( News 1st ) - පැය 24 ක් තුළ සිදුවූ රිය අනතුරුවලින් ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ,රාගල සමඟිපුර ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් වයස අවුරුදු දෙකහාමාරක දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ය.

ත්‍රීරෝද රථයේ ගමන් කළ තවත් දරුවෙකු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇති අතර 16 හැවිරිදි ත්‍රීරෝද රථ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

නාවලපිටිය ප්‍රදේශයේ දී බස් රථයකින් ඇද වැටී 16 හැවිරිදි පාසල් සිසුවෙකු මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය.

කොළඹ - මඩකලපුව මාර්ගයේ තාලවටුවාන ප්‍රදේශයේ දී යතුරු පැදියක්, වෑන් රථයක ගැටීමෙන් 19 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

මේ අතර ගලෙන්බිඳුණුවැව පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබුණේ යතුරු පැදියක් බස් රථයක ගැටීමෙනි.

එසේම,බද්දේගම හැම්මැලිය ප්‍රදේශයේදී යතුරු පැදියක් - කැබ් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇති අතර එහිදී 31 හැවිරිදි බද්දේගම පදිංචි යුද හමුදා සෙබළෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ.

යතුරු පැදියක්, ලොරි රථයක ගැටීමෙන් බෙලිඅත්තේ සිදුවූ රිය අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර ජීවිතක්ෂයට පත්ව ඇත්තේ  39 හැවිරිදි අයෙකි.

මේ අතර බද්දේගම, මඩවලමුල්ල ප්‍රදේශයේදී ජීප් රථයක ගැටීමෙන් 50 හැවිරිදි පදිකයෙකු මිය ගොස් ඇති අතර යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේදී 57 හැවිරිදි පුද්ගලයෙකු ද ජීවිතක්ෂයට පත් වී තිබේ.