ජේ.ශ්‍රී. රංගා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට

ජේ.ශ්‍රී. රංගා පාපන්දු සම්මේලනයේ සභාපති ධුරයට

by Staff writer 14-01-2023 | 1:44 PM

COLOMBO (News 1st) –  ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය තෝරා පත් කර ගැනීම සඳහා වන නිලවරණය අද(14) ක්‍රීඩා අමාත්‍යාංශයේදී පැවැත්විය.

එහිදී නව සභාපතිවරයා ලෙස තේරී පත්වූයේ ජේ.ශ්‍රී රංගා මහතා ය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ, ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු නිලවරණයේ දී සභාපති තනතුර සඳහා අපේක්ෂකයින් දෙදෙනෙක් එක්ව සිටි අතර එලෙස තරග කළේ, ජේ. ශ්‍රී රංගා මහතා සහ ජගත් රෝහණ මහතා ය.

මෙම නිලවරණයට සහභාගී වීම සඳහා පැමිණි ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති, ජස්වර් උමාර් මහතාට නිලවරණය සඳහා ඉදිරිපත් වීමට අවස්ථාව හිමි නොවිණි.

කෙසේ වෙතත් සභාපති තනතුර සඳහා පැවැති ඡන්ද විමසීමේදී, ඡන්ද 27ක් ලබා ගත් ජේ. ශ්‍රී. රංගා මහතා එම තනතුර සඳහා තේරී පත්වූ අතර ඔහු සමග තරග කළ ජගත් රෝහණ මහතා ලබා ගත්තේ ඡන්ද 24 ක් පමණි.

නව නිලධාරී මණ්ඩලයේ ලේකම් තනතුර සඳහා ටී.එච්.එස්. ඉන්දික මහතා තේරී පත්වූයේ ඡන්ද 29ක් ලබා ගනිමිනි.

ඔහු සමග තරග කළ ආර්නෝල්ඩ් එමානුවෙල් මහතා ලබා ගත්තේ ඡන්ද 22ක් පමණි.

නියෝජ්‍ය ලේකම් තනතුර සඳහා එස්.ආර්.එම්.එම්. අසාද් මහතා  ඡන්ද 25ක් ලබා ගනිමින් තේරී පත් වූ අතර ඔහු සමග තරග කළ එම්.එච්.එම්.නවුසිල් මහතාට ලබා ගැනීමට හැකිවූයේ ඡන්ද 24ක් පමණි.

නව භාණ්ඩාගාරිකවරයා ලෙස ටී. සුදාගන් මහතා නිතරගයෙන් තේරී පත් වූ අතර පාපන්දු සම්මේලනයේ නව උප සභාපතිවරුන් සිව් දෙනෙක් නිතරගයෙන් පත් වී තිබේ.

එලෙස පත් වූ උප සභාපතිවරුන් වන්නේ දීපිකා කුමාරි, එස්.ඩී.නාගහවත්ත, ඩබ්.එල්.ඒ.එස්. ප්‍රියන්ත සහ ඩී.අයි. උඩුවර යන මහත්ම මහත්මීන් වේ.

මෙලෙස පත් වූ නිලධාරී මණ්ඩලය ඉදිරි මාස 5ක කාලය දක්වා කටයුතු කරනු ඇති.

එසේම, සභාපති තනතුර සඳහා තේරී පත්වූ ජේ.ශ්‍රී රංගා මහතා නිලවරණයෙන් අනතුරුව පාපන්දු සම්මේලනය වෙත පැමිණියේය.

අනතුරුව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ,සභාපති ජේ.ශ්‍රී රංගා මහතා මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ පැවසුවේය. 

"මාස 5ක් ඇතුළත කරන්න පුලුවන් දේවල් මම අනිවාර්යෙන්ම කරනවා.නේවලර්ලන් අහනවා අවුරුදු දෙකක් කම්පිටිශන් තිබ්බේ නෑ. එයා බලාපොරොත්තු වෙනවා අවුරුදු 2 තිබ්බේ නැති එක මාස 5න් කරන්න  ඕනේ කියලා. ව්‍යවස්ථාව 2014 ඉදලා කෙරුවේ නෑ. ඒක මාස 5ක් ඇතුළත කරන්න ඕනේ. මම මේ මාස 5 ඇතුළත මට දුන්න වෙලාවත් එක්ක. මම විතරක් නෙවෙයි කවුරුත් බුෆේ එක තියනවා කියලා බුෆේ ඉවර වෙනකන් කන්නේ නෑ තමන්ට ඕනේ ප්‍රමාණය තමයි කන්නේ.."