මෙරට මුහුදේ තෙල් ගවේෂණයට නීතිමය රෙගුලාසි සැකසෙයි

ශ්‍රී ලංකා මුහුදේ, තෙල් සහ ගෑස් ගවේෂණයට ආයෝජකයින් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකසා අවසන් - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

by Staff writer 14-01-2023 | 7:01 PM

COLOMBO ( News 1st ) - ශ්‍රී ලංකා මුහුදේ, තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආයෝජකයින් ලබා ගැනීම පිළිබඳව අවශ්‍ය නීතිමය රෙගුලාසි සකසා අවසන් කර  නිකුත් කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකා මුහුදෙහි ඛනිජ සම්පත් ගවේෂණය සහ ආයෝජන සඳහා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරනු ඇති.

මේ සඳහා සී ඔෆ් ශ්‍රී ලංකා හෙවත්, ශ්‍රී ලංකා මුහුදේ, කොටස් 900 ක් සහිත ප්‍රදේශයක් නම් කර තිබෙන අතර අදාළ සීමාංකනයන් සිදු කර ඇත්තේ ඛනිජ තෙල් සංවර්ධන අධිකාරි විසිනි.

ඛනිජ සම්පත් ගවේෂණය සහ ආයෝජනයට අදාළව නියෝග ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් ද  මේ වනවිට නිකුත් කර අවසන් ය.

එහි දැක්වෙන්නේ, අදාළ ගවේෂණ සහ ආයෝජන කටයුතු වෙනුවෙන් අභිලාෂය පළ කිරීම සඳහා වන ඉල්ලීම, යෝජිත වැඩසටහන සහ එය සම්පූර්ණ කෙරෙන අපේක්ෂිත කාල රාමුව ඛනිජතෙල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතු බව ය.

ඔවුන්ගේ, යෝග්‍යතාව, පළපුරුද්ද, කීර්තිනාමය සහ මූල්‍ය හැකියාව යන කරුණු ඇතුළත් වාර්තාවක් ද ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කළ යුතු ය.

කිසියම් පාර්ශ්වයකට ඒකාබද්ධ අධ්‍යනය සඳහා ඇතුළත්විය හැක්කේ, අදාළ සුදුසුකම් සපුරාලීමෙන් අනතුරුවය.

ඒකාබද්ධ අධ්‍යන යෝජකයා විසින් බිම් කොටසට අදාළව අනිවාර්ය දත්ත තිබේනම් ඒ සියල්ල මිලදී ගනු ලැබිය යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ නියෝගවල දැක්වේ.