රාජ්‍ය පරිපාලන ලේකම් මැ. කොමිසමෙන් සමාව අයැදී

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් මැතිවරණ කොමිසමෙන් සමාව අයැදී..

by Staff writer 13-01-2023 | 6:44 PM

COLOMBO ( News 1st ) - රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා මැතිවරණ කොමිසමෙන් සමාව අයැද තිබේ.

ඒ පළාත් පාලන මැතිවරණයට අදාළව ඇප තැන්පතු භාර ගැනීම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් නිකුත් කිරීම පිළිබඳව කරුණු විමසීම සඳහා අද (13) පස්වරුවේ මැතිවරණ කොමිසම වෙත කැඳවූ අවස්ථාවේදී ය.

අදාළ  ලිපිය නිකුත් කිරීම හේතුවෙන් මැතිවරණ කොමිෂන් සභාවට යම් අපහසුතාවක් සිදු වුයේ නම් ඒ පිළිබඳව තමන් මැතිවරණ කොමිසමෙන් සමාව අයදින බවත්, ඉදිරියේදි එවැනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කරන බවත් ලේකම්වරයා කොමිසමට දැනුම් දි තිබේ.

ලේකම්වරයා කොමිසම හමුවේ සඳහන් කර ඇත්තේ තමන් අමාත්‍ය මණ්ඩලයේ තීරණයක් මත අදාළ ලිපිය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කළ බවයි.

කෙසේ වෙතත් එය සුදුසු ක්‍රියාවක් නොවන බවට හැඟී ගිය බැවින් පැයක් වැනි කාලයක් තුළ එම ලිපිය යළි ආපසු කැඳවීමට ක්‍රියා කළ බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න කොමිසමට දැනුම් දී  තිබේ.

ලේකම්වරයා වැඩිදුරටත් කොමිසම හමුවේ සඳහන් කර ඇත්තේ අමාත්‍ය මණ්ඩලයේ තීරණය ක්‍රියාත්මක කිරිමේ අරමුණින් පමණක් මෙම ලිපිය නිකුත් කල බව ය.

එසේ නොමැතිව මැතිවරණ කොමිෂන් සභාවේ ක්‍රියාවලියට මැදිහත් වීමේ කිසිදු අරමුණක් තමන්ට නොතිබු බව ලේකම්වරයා සඳහන් කර තිබේ. 

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම  සඳහන් ක‍ළේ, මැතිවරණයක් ප්‍රකාශයට පත්ව ඇති අවස්ථාවක දී රාජ්‍ය නිලධාරින් ක්‍රියා කළ යුතු ආකරය පිළිබඳව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට මෙහිදී පැහැදිලි කර දුන් බවයි.

ලිපිය නිකුත් කර කෙටි කාලයක් තුළ එය ඉවත් කර ගැනීම හේතුවෙන් ඇප තැන්පත් කිරීමේ ක්‍රියාවලියට කිසිදු අගතියක් නොවු බව, ඊට පසුදින දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් 131 ක් ඇප තැන්පත් කිරීමෙන් පැහැදිලි බව බව නීල් බණ්ඩාර හපුහින්න මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කර තිබේ.