තරුණයින් දෙදෙනාගේ සිරුරු දෙකම ගොඩ ගනී

රඹුක්කන වළ දමා තිබූ තරුණයින් දෙදෙනාගේ සිරුරු දෙකම ගොඩ ගනී: සැකකරුවන් සොයා මෙහෙයුම්..

by Staff writer 13-01-2023 | 7:33 PM

COLOMBO ( News 1st ) - අතුරුදන්ව සිට රඹුක්කන, හූරිමළුවේ නිවසක් පිටුපස වළ දමා තිබුණු දෙවැනි තරුණයාගේ සිරුරත් අද (13) ගොඩගනු ලැබිණි. 

පොලීසිය පැවසුවේ, ඔවුන් මාස දෙකකට අධික කාලයක් අතුරුදන්ව සිටි බව ය.

මාවනැල්ල, කිරිංගදෙණිය හා කෙරමිණිය ප්‍රදේශයේ තරුණයින්  දෙදෙනෙකු අතුරුදන් බවට පසුගිය වසරේ නොවැම්බර් මස 28 වැනිදා පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබුණු අතර  පසුව සිදුකල විමර්ශනවලදී හෙළිව තිබුණේ, එම තරුණයින් දෙදෙනා ඝාතනය කර රඹුක්කන, හූරිමළුව ප්‍රදේශයේ වළ දමා ඇති බවටයි. 

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු එම තරුණයින් දෙදෙනාට පහර දී ඝාතනය කර ගෙවත්තේ වළ දමා ඇති බවට සැක කෙරෙන බව පොලීසිය පවසයි.

අධිකරණ නියෝගයක් අනුව කරන ලද සෝදිසියක දී ඝාතනය කර පොලිතීන් බෑගයක දමා වළ දමා තිබු එක් තරුණයෙකුගේ මළ සිරුරක් ඊයේ (12) සොයා ගැනිණි.

අද (13) සොයා ගත්තේ ඝාතනයට ලක් වූ අනෙක් තරුණයාගේ සිරුර ය.