අපේ පන්දු යවන්නන්ට හොඳින් පන්දු යැවීමට හැකිවුණේ නෑ

හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ, පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළ නිසයි - දසුන් ශානක

by Staff writer 11-01-2023 | 8:07 AM

COLOMBO (News 1st) - ඉන්දියාවට එරෙහිව ශතකයක් රැස් කිරීමට හැකිවූයේ පිතිකරුවෙකු ලෙස මූලික පියවර සාර්ථකව අනුගමනය කළ නිසා බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසයි. 

 දසුන් ශානක මේ බව පැවුසවේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවහාටිහීදී ඊයේ (10) පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පසු මාධ්‍යට අදහස් දක්වමිනි. 

"ඉන්දීය පිතිකරුවන් හොඳ ආරම්භයක් එක්ක හොඳ තරගයක් ලබා දුන්නා. අපේ පන්දු යවන්නන්ට ඔවුන්ට හොඳින් පන්දු යැවීමට හැකිවුණේ  නැහැ. නමුත් ඉන්දීය පන්දු යවන්නන් ස්වින්ග් එකත් එක්ක හොඳින් පන්දු යැව්වා. අපේ පන්දු යවන්නන්ට සැලසුම් තිබුණා. නමුත් ඒවා සාර්ථක කරගන්න බැරිවුණා. මම පිතිකරුවෙක් විදියට මූලික පියවර සාර්ථකව අනුගමනය කළා. ඒ නිසා තමයි හොඳ ඉනිමක් ක්‍රීඩා කරන්න පුළුවන් වුණේ."

ඊයේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 373ක් රැස් කළේ ය.

විරාත් කෝලි සිය 45 වැනි ශතකය ලබා ගනිමින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 113කි.

ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේ නවවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 100ක සබඳතාවක් ගොඩනැගීමට නායක දසුන් ශානක සහ කසුන් රාජිත සමත් විය.

එක්දින තරගයක නවවැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනකු ගොඩනැගූ දෙවැනි ඉහළම සබඳතාවය ද එයයි.

දසුන් ශානක ලකුණු 98ක් රැස් කරගෙන සිටියදී ඉන්දීය පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂාමි ඔහුව මෑන්කාඩ් ක්‍රමයට දවා ගැනීමට උත්සහ කළේ ය.

නමුත් ඉන්දීය නායක රෝහිත් ශර්මා එම දවාගැනීම ඉල්ලා අස් කරගනිමින් දසුන්ට කඩුල්ලේ රැඳී සිටීමට අවස්ථාව ලබා දුන්නේ ක්‍රීඩාවේ මහත්මා ගුණය ආරක්ෂාකර ගනිමිනි.

ඒ අනුව නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ දසුන් ශානක ඊයේ රැස් කළේ සිය දෙවැනි එක්දින ශතකයයි.

ඔහු නොදැවී රැස් කළ ලකුණු 108ට හතරේ පහර 12ක් සහ හයේ පහර 3ක් ඇතුළත් ය.

තරගයේ ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම ඉන්දීය කණ්ඩායමට හිමිවී තිබුණ ද දසුන් ශානක ඉනිමේ අවසන් පන්දුවත් දැවැන්ත හයේ පහරක් බවට පත් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ගෞරවාන්විත ලකුණු 306ක් දක්වා ඉහළට ගෙන ගියේ ය. 


මේ දිනවල ඉන්දීය මාධ්‍ය සහ ක්‍රීඩා ලෝලීන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක හඳුන්වන්නේ 'නිගම්බු නේලර්' යන නාමයෙනි.