.webp)
ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු වන සමන්ත ප්‍රීතී කුමාර මහතා නාරාහේන්පිට පිහිටි කාර්යාලයේ සිට අසළ ආපනශාලාවක් වෙත දහවල් ආහාර ලබා ගැනීම සඳහා ගොස් තිබුණු අතර ආහාර රැගෙන කාර්යාලයට පැමිණෙන අතරතුර ජීප් රථයකින් පැමිණි පිරිසක් ප්‍රීති කුමාර මහතා රැගෙන ගොස් ඇති බව සඳහන් ය.
රාත්‍රිය වනතුරුත් ඔහු නාරාහේන්පිට සිය නවාතැනට නොපැමිණීම නිසා වෘත්තීය පුහුණු අධිකාරියේ විදුහල්පතිවරයා ඔහුගේ මව ඇතුළු ඥාතීන්ට මේ බව දන්වා තිබේ.
පසුව මව ඇතුළු ඥාතීන්ට වාර්තා වී තිබුණේ, සමන්ත ප්‍රීති කුමාර මහතාගේ සිරුර ජාතික රෝහලේ ඇති බව ය.
ඒ පිළිබඳව අදහස් දැක්වු ප්‍රීති කුමාර මහතාගේ මව ප්‍රකාශ කළේ,පසුගිය 09 වැනිදා රැකියාව සඳහා පැමිණි සිය දරුවා මළ කඳක් වී ඇති බව ය.
මේ පිළිබඳව අප කළ විමසීමකදී, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළේ , මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාලයක් පිළිබඳව සිදුකළ විමර්ශනයක් අතරතුර එම ජාලයේ ඉහළ මට්ටමේ සිටින පුද්ගලයෙකු බවට සැකපිට සමන්ත ප්‍රීතී කුමාර මහතා අත්අඩංගුවට ගෙන ඇති බව ය.
ඊයේ (10) පස්වරුවේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් ඔහුට ඉහළින් එම මත්ද්‍රව්‍ය ජාලයේ සිටින පුද්ගලයින් පිළිබඳව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ප්‍රශ්න කළ බවත්, එහිදී බෝතලයක් දෙකට කඩා සැකකරු පොලීසියට පහර දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.
එහිදී පොලිස් නිලධාරියෙකු තුවාල ලැබූ බවත් මේ හේතුවෙන් පොලිස් නිලධාරීන් සැකකරුගේ දෙපාවලට පහර දී ඇති බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර පහරදෙන අවස්ථාවේ සිහිසුන්ව ඇද වැටී ඇති සැකකරු ඊයේ (10) රාත්‍රීයේ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර එහිදී ඔහු එහිදී ජීවිතක්ෂයට පත් වී තිබේ.
තුවාල ලැබූ පොලිස් නිලධාරියා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය ප්‍රකාශ කළ අතර 41 හැවිරිදි එක්දරු පියෙකු වන සමන්ත ප්‍රීති කුමාර මහතා මීටියාගොඩ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණය පිළිබඳව මරදාන පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.