ATM යන්ත්‍රවලින් මුදල් කොල්ලකෑ විදේශිකයින්...

ATM යන්ත්‍රවල මුදල් කොල්ල කා රටින් පනින්න හැදූ බල්ගේරියානු ජාතිකයින් අත්අඩංගුවට

by Staff writer 09-01-2023 | 2:30 PM

COLOMBO (News 1st) – ගාල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක  ATM යන්ත්‍ර හැක්කර, මුදල් කොල්ලකෑමේ සිදුවීම සම්බන්ධයෙන් බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 

ඒ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක කළ විමර්ශනවලදීයී.

ගල්කිස්සේ සහ මීගමුවේ පදිංචි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු  ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණේ, හැව්ලොක් ප්‍රදේශයේදීයි. 

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට සම්බන්ධ බල්ගේරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලවත්තේදීයී.

අදාළ කොල්ලයට සම්බන්ධ බල්ගේරියානු ජාතික ප්‍රධාන සැකකරු රටින් පළා යාමට සූදානමින් සිටින බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. 

ඒ ඔස්සේ කළ විමර්ශනවලදී කටුනායක ගුවන් තොටුපළෙන් පළායාමට උත්සහ කළ අවස්ථාවේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව, පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය. 

අදාළ කොල්ලය සඳහා යොදාගත් වාහනය සහ රියදුරු පිටිගලදී අත්අඩංගුවට ගැනිණ.

සැකකරුවන්, බද්දේගම, හික්කඩුව සහ කරාපිටිය ප්‍රදේශවල පිහිටි ATM යන්ත්‍රවලින් රුපියල් ලක්ෂ 57, ලක්ෂ 48 ක් සහ ලක්ෂ දෙකහාමාරක් වශයෙන් මුදල් සොරාගෙන තිබිණ. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.