බ්‍රසීලයේ ඇතිව තිබෙන තත්ත්වය ගැන ජනපතිගේ කණස්සල්ල

බ්‍රසීලයේ ඇති වී තිබෙන තත්ත්වය ගැන ජනපතිගේ කණස්සල්ල ..

by Staff writer 09-01-2023 | 8:33 PM

COLOMBO (News 1st) - බ්‍රසීලයේ, බ්‍රසීලියා නගරයේ ඇතිවී තිබෙන ප්‍රචණ්ඩත්වය පිළිබඳව දැඩි ලෙස කණස්සල්ලට පත්ව සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේත් මීට ටික කලකට පෙර ඇතැම් කණ්ඩායම් ව්‍යවස්ථා විරෝධී අන්දමින් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයන් පෙරලා දැමීමට උත්සාහ ගත් බවය.

මෙවැනි ක්‍රියාමාර්ග තරයේ හෙලා දකින අතර මේ අවස්ථාවේදී බ්‍රසීල ජනාධිපතිවරයා, රජය හා ජනතාව සමග සිටින බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු අවධාරණය කරන්නේ, සියලුම ජන කොට්ඨාස ප්‍රජාතන්ත්‍රවාදය හා ඊට අනුබද්ධ ආයතනවලට අනිවාර්යෙන් ගරු කළ යුතු බවය. 

දින කිහිපයකට පෙර බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජයිල් බොල්සනාරෝගේ ආධාරකරුවන් බ්‍රසීලියා නගරයේ දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කළේ ජනාධිපති ලූලාද සිල්වාට විරුද්ධව ය.

ජනාධිපති ලූලාද සිල්වා ධූරයේ දිවුරුම්දී සතියක් ගතවීමටත් පෙර මේ විරෝධතා ආරම්භ වූ අතර බොල්සනාරෝගේ මැතිවරණ පරාජය පිළිගත නොහැකි බව පවසන ඔහුගේ ආධාරකරුවන් ජයග්‍රහණය තම අපේක්ෂයාගෙන් උදුරාගත බවට චෝදනා කරයි.

ඔවුන් අවධාරණය කරන්නේ බොල්සනාරෝ නැවත බලයේ පිහිටුවීම සඳහා හමුදා මැදිහත්වීමක් අවශ්‍ය බවය.

හිටපු ජනාධිපතිවරයාගේ ආධාරකරුවන් ඊයේ(08) දිනය වනවිට බ්‍රසීලියා නගරයේ පිහිටි ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තු සංකීර්ණය හා උපරිමාධිකරණ සංකීර්ණයටද ඇතුළුවී තිබුණි.


විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රසීල හමුදාව හා පොලීසිය මේ වනවිට පිරිස විසුරුවා හැර විරෝධතාකරුවන් අත්පත් කරගත් ස්ථාන යළි රජයේ පාලනය යටතට ගෙන ඇති බවයි.

මේ විරෝධතාකරුවන් නියෝ පැසිස්ට්වාදීන් ලෙස හදුන්වන ජනාධිපති ලූලාද සිල්වා ඔවුන්ට අනිවාර්යෙන් දඬුවම් දිය යුතු බවද ප්‍රකාශ කර තිබේ.

දූෂණ චෝදනා එල්ලවූ වත්මන් ජනාධිපතිවරයා මෙවර ජනාධිපතිවරණය ජය ගැනීමට පෙර වසර දෙකක සිර දඬුවමක්ද නියමව සිටියේ ය.

හිටපු ජනාධිපති බොල්සනාරෝට ද චෝදනා එල්ලවන්නේ ඥාතීන්ට විශේෂ වාසි හා වරප්‍රසාද ලබාදීම පිළිබඳව ය.