පුංචි ඡන්දය..අතරමැදි පෙත්සම් 03ක්..

පුංචි ඡන්දය නවත්තන්නැයි ඉල්ලූ රීට් ආඥා පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සම් 03ක්..

by Staff writer 09-01-2023 | 8:45 PM

COLOMBO (News 1st) - පළාත් පාලන ඡන්දය පැවැත්වීමට අදාළ සියලු කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇති රීට් ආඥා පෙත්සම විභාගයට ගැනිමෙන් තොරව ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා අද(09) අතරමැදි පෙත්සම් තුනක් ගොනු කෙරිණි.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම අත්හිහිටුවමින් මැතිවරණ කොමිෂන් සභාව ඇතුළු බළදාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල් ඩබ්ලිව්. එම්. ආර්. විජේසුන්දර මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රීට් ආඥා පෙත්සමක් ගොනු කළේ ය.

එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා නීතිඥ සුනිල් වටගල සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර හා ආචාර්ය විශාකේෂ චන්ද්‍රසේකරන් යන මහත්වරුන් අද(09) ශ්‍රේෂ්ඨාධිකරණයට අතරමැදි පෙත්සම් ගොනු කර ඉල්ලා සිටියේ ය.

එම පෙත්සම්වලින් පෙන්වාදී ඇත්තේ, මැතිවරණ කොමිසන් සභාව මැතිවරණය පැවැත්වීමට තීරණය කර ඒ සඳහා නාමයෝජනා කැඳවා තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එය වළක්වන ලෙස ඉල්ලීම රටේ ජනතාව සතු සර්ව ජන අයිතියට එල්ල කළ බලවත් පහරක් බවය.