ATM සල්ලි කොල්ලයට පොලිස් පරීක්ෂකවරයෙකුත් කොටු

ගාල්ලේ ATM යන්ත්‍රවල මුදල් කොල්ල කෑ සිද්ධියට පොලිස් පරීක්ෂකවරයෙකුත් CID අත්අඩංගුවට..

by Staff writer 09-01-2023 | 5:45 PM

COLOMBO (News 1st) - ගාල්⁣ලේ ප්‍රදේශ කිහිපයක ATM යන්ත්‍රවලින්, මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කළුතර, මීගහතැන්න පොලීසියට අනියුක්ත පොලිස් පරීක්ෂකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මීට පෙර මේ සම්බන්ධයෙන් බල්ගේරියානු ජාතිකයින් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.

ඒ, අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය ක්‍රියාත්මක කළ විමර්ශනවලදීය.

ගල්කිස්සේ සහ මීගමුවේ පදිංචි සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු  ඊයේ (08) අත්අඩංගුවට ගෙන තිබුණේ, හැව්ලොක් ප්‍රදේශයේදීය. 

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඊට සම්බන්ධ බල්ගේරියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ වැල්ලවත්තේදීය.

අදාළ කොල්ලයට සම්බන්ධ බල්ගේරියානු ජාතික ප්‍රධාන සැකකරු රටින් පළා යාමට සූදානමින් සිටින බවට ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. 

ඒ ඔස්සේ කළ විමර්ශනවලදී කටුනායක ගුවන් තොටුපොළෙන් පලා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව, පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසය සඳහන් කළේ ය. 

අදාළ කොල්ලය සඳහා යොදාගත් වාහනය සහ රියැදුරු පිටිගලදී අත්අඩංගුවට ගැනිණි.

සැකකරුවන්, බද්දේගම, හික්කඩුව සහ කරාපිටිය ප්‍රදේශවල පිහිටි ATM යන්ත්‍රවලින් රුපියල් ලක්ෂ 57, ලක්ෂ 48 ක් සහ ලක්ෂ දෙකහාමාරක් වශයෙන් මුදල් සොරාගෙන තිබුණි. 

අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.