එ.ජා.ප ය හා පොහොට්ටුව අතර අද සාකච්ඡාවක්..

ආණ්ඩුවට සම්බන්ධ සියලු පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් - එක්සත් ජාතික පක්ෂය

by Staff writer 08-01-2023 | 7:40 AM

COLOMBO ( News 1st ) - ආණ්ඩුවට සම්බන්ධ සියලු  පාර්ශ්ව සමග එක්ව ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට සුදානම් බව, එක්සත් ජාතික පක්ෂය පවසයි.

පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කළේ ,ඒ පිළිබඳව සාකච්ඡාවක් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධානීන් සමග අද (08)  පැවැත්විමට නියමිතව ඇති බව ය.

සාකච්ජාව සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා, සභාපතිවරයා සහ ජාතික සංවිධායකවරයා ඇතුළු කණ්ඩායමක් සහභාගි වීමට නියමිතව ඇතැයි පාලිත රංගෙබණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.

ඒ සම්බන්ධයෙන් නිවුස්ෆස්ට්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් විමසිමක් කළ අතර එහි ජ්‍යෙෂ්ඨයෙකු පැවසුවේ, පළාත් පාලන මැතිවරණය පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානින් සමග අද (08)  විශේෂ සාකච්ජාවක් පැවැත්වෙන බව ය.

එහිදි ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් නව සන්ධානයක් බිහි කිරිම පිළිබදව අවධානය යොමු කරන බව, ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි උතුරු පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා ඩග්ලස් දේවානන්දා මහතාගේ නායකත්වයෙන් යුත්, ඊලම් ජනතා ප්‍රජාතන්තවාදි පක්ෂයේ විණාව ලකුණින් තරග කිරීමට දැනට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසීය.

එම පක්ෂය ප්‍රකාශ කළේ නැගෙනහිර පළාතේ ඇතැම් පළාත් පාලන ආයතන සඳහා සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ‍මහතාගේ නායකත්වයෙන් යුත් තමිල්  මක්කල් විඩුදලෛප් පුළිකල් පක්ෂයේ බෝට්ටුව ලකුණින් තරග කිරීමට සැලසුම් කර ඇති බව ය.

දකුණේ සියලු දිස්ත්‍රික්ක වලට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් වීමට දැනට සැලසුම් කර ඇතත්, එක්සත් ජාතික පක්ෂය සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව, ඉදිරිපත් වන ලකුණ පිළිබඳ අවසන් තීරණයක් ගන්නා බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පැවසීය.

මේ අතර දිවයිනේ සියලු පළාත් පාලන ආයතන සඳහා දුරකතනය ලකුණෙන් තරග වැදීමට සිය පක්ෂය මේ වන විට තීරණය කර ඇතැයි සමගි ජන බලවේගය පවසයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කළේ, දමිල ප්‍රගතිශිලි පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ත ලංකා මහජන කොංග්‍රසය ඇතුළු සමගි ජන සන්ධානයේ හවුල්කාර පක්ෂ සමග එක්ව මෙවර මැතිවරණයට ඉදිරිපත් වන බව ය. 

ඊට අමතරව ඩලස් අලහප්පෙරුම පාර්ශවය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සෙසු පක්ෂ සමග ද, මැතිවරණය ඉලක්ක කර ගනිමින් සාකච්ජා ආරම්භ කර ඇතැයි රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ ය.

ඔහු පැවසුවේ, මැතිවරණය ඉලක්ක කර ගනිමින් සියලු දිස්ත්‍රික්කවල ඡන්දපොළ නියෝජිතයින් වෙනුවෙන් විශේෂ වැඩමුළු මාලාවක් සංවිධානය කර ඇති බව ය.

මේ අතර සිය මන්ත්‍රි කණ්ඩායමේ හමුවක් අද (08)  පැවැත්වෙන බව නිදහස ජනතා සභාව නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.

ඒ, නව සන්ධානයක් බිහි කිරිම වෙනුවෙන් විවිධ දේශපාලන පක්ෂ සමග සිදුකළ සාකච්ජා සම්න්ධයෙන් සාමාලෝචනයක් කිරීමේ අරමුණෙනි.

පළාත් පාලන මැතිවරණය සඳහා වෙනම තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කරන ලද අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු කණ්ඩායම තීරණය කර තිබේ.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයේදි තම කණ්ඩායම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ  හෝ වෙනත් කිසිදු පක්ෂයක සලකුණක් යටතේ තරග නොකරන බව ය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රමුඛ 9දෙනෙකුගෙන්  යුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අහිමි කළ කණ්ඩායම ඒ පිළිබඳ එකගතාවයකට පැමිණි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ඒ අනුව තම අනන්‍යතාව රැකෙන පරිදි පළාත් පාලන මැතිවරණය සඳහා කණ්ඩායමක් ඉදිරිපත් කරන බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කළ පාර්ශවය පැවසීය.

මේ අතර ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග වැදීමට සිය පක්ෂය තීරණය කර ඇතැයි පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ප්‍රකාශ කළේ ය.