පළාත් පාලන ඡන්දය කල් දැමීමට ඉඩක් නැහැ

පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීමකින් තොරව නිසි වේලාවට පැවැත්විය යුතුයි - මැතිවරණ නිරීක්ෂණ සංවිධාන

by Staff writer 07-01-2023 | 8:26 PM

COLOMBO ( News 1st ) - පළාත් පාලන ජන්ද විමසීම කල් දැමීමකින් තොරව නිසි වේලාවට පැවැත්විය යුතු බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අවධාරණය කර තිබේ.

ඔවුන් මෙම අදහස් පළ කළේ, ජනාධිපතිවරයා මැතිවරණ කොමිසම කැඳවීමේ සිදුවීම පදනම් කරගනිමිනි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 6 ක් මෙම මාධ්‍ය හමුව නියෝජනය කළහ.

මෙහිදී අදහස් දක්වමින් පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ,සියලුම දෙනා මැතිවරණය පැවැත්විය යුතුයි කියන ස්ථාවරත්වයෙ සිටින බවයි.

එසේම මැතිවරණ කොමිෂන් සභාව මෙම  මැතිවරණය සම්බන්ධයෙන් බෙදුණු  තැනක සිටිනවා යැයි කියන  කරුණ  පිළිබඳව ආණ්ඩු පාර්ශ්වයෙනුත්, මාධ්‍ය පාර්ශ්වයෙනුත් ප්‍රකාශ නිකුත් වී ඇති බවත් මෙතෙක් පැමිණි  මැතිවරණ ක්‍රියාවලිය නීත්‍යානුකූල නොවන බවට සමාජ මතයක් නිර්මාණය කිරීමේ උත්සහයක් බවතින බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයා අවස්ථා 2කදී මැතිවරණ කොමිෂන් සභාව කැඳවා ඇති බවත්  රාජ්‍ය නායකයා ලෙස කොමිෂන් සභාවක් කැඳවීමට අයිතියත් ඇතත්, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති මොහොතක මැතිවරණය පිළිබඳ ආණ්ඩුවේ  එකඟතාවයක් නොමැති බව පෙන්නුම් කරමින් තිබෙන මොහොතක ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා ලෙස මැතිවරණ කොමිසන් සභාව කැඳවා  මැතිවරණය පිළිබඳව ප්‍රශ්න කිරීම ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවත්, නීත්‍යානුකූල නොවන බවත් ඔහු අවධාරණය කළේ ය.

අදාළ ක්‍රියාව හේතුවෙන්   මුළුමනින් ම මැතිවරණ කොමිෂන් සභාවේ ස්වාධීනභාවයට  එල්ල කරන පහරක්  ලෙස  නිරීක්ෂණ  සංවිධාන ලෙස ඔවුන් මෙම ක්‍රියාව දකින බවද ඔහු පැවසීය.

කැෆේ සංවිධානයේ නීති අධ්‍යක්ෂ ,නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,මැතිවරණය කල් තැබීමට ඔවුන්ට කිසිදු  දේශපාලනික  සමාජීය  හෝ ආර්ථික වපසරියක් නිර්මාණය වී නොමැති බවය.