රූපලාවන්‍ය ක්ෂේත්‍රය බිඳ වැටෙයි ද?

ආර්ථික අර්බුදයත් සමග රූපලාවන්‍ය ක්ෂේත්‍රය බිඳ වැටෙයි ද?..

by Staff writer 07-01-2023 | 8:20 PM

COLOMBO ( News 1st ) - දූෂණය , නොහැකියාව,අක්‍රමිකතා  නිසා අපේ රටේ ආර්ථීකය විනාශ විය.

ආර්ථික අපරාධ අපේ රට මෙම  තත්ත්වයට පත් වීමට  ප්‍රධාන හේතුව බව එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ප්‍රකාශ කර තිබේ.

බලය ඇති පිරිස් සිදුකළ මෙම  ආර්ථික අපරාධ නිසා දුක්විඳින්නේ විවිධ ක්ෂේත්‍රවල නිරත රටේ සාමාන්‍ය පුරවැසියන්  ය.

සිනහව, සුන්දරත්වය, සතුට වෙනුවෙන් මහත් සේවයක් කරන රූපලාවන්‍ය ක්ෂේත්‍රයත්  එවැනි අර්බුදයකට ලක් වූ ක්ෂේත්‍රයක්ව තිබේ.

මෙම අනාවරණය  ඔවුන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳව ය. 

රූපලාවන්‍ය ක්ෂේත්‍රය  අපේ රටේ ගම්නගර සිසාරා පැතිරී ගොස් ඇති  පුළුල් ක්ෂේත්‍රයකි. 

ගමේ කොන්ඩා කපන තැන් සිට ඉතා දියුණු  තාක්ෂණයෙන් හා ශිල්පීය දැනුමක් සහිතව ක්‍රියාත්මක රූපලාවන්‍යාගාර දක්වා මෙම  ක්ෂේත්‍රය විසිරී තිබේ.

ආර්ථීක අර්බුදයත් සමග  රුපියලේ අගය බිඳවැටීමත් ආනයන සීමා පැනවූ භාණ්ඩ වර්ග අතරට රූපලාවන්‍ය ක්ෂේත්‍රයට අයත් භාණ්ඩ හා උපකරණ වර්ග රැසක් අයත් වීමත් නිසා දැන් මෙම ක්ෂේත්‍රය අර්බුධයකට ලක්වී තිබේ.

රටේ ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ කේන්ද්‍ර කරගත් බස්නාහිර පළාත   රූපලාවන්‍ය ක්ෂේත්‍රය මනාව සංවිධානාත්මකව ක්‍රියාත්මක වූ පළාතක් වන අතර ආර්ථික අර්බුදයේ වේදනාකාරී අත්දැකීම් ඔවුන්ටත් පොදුය.

රූපලාවණ්‍ය ක්ෂේත්‍රය වඩාත් වෘත්තීයමය භාවයක් අත්පත් කරගත්තේ ඒ හා බැඳුණු  පාඨමාලා නිසාවෙන් වූ අතර මෙම  පාඨමාලා ජාතික වෘත්තීය නිපුණතා සහතිකයේ ප්‍රමිතියෙන් පවා ප්‍රමිති ගත විය.

එමගින් දේශීය මෙන්ම විදේශීය රැකියා අවස්ථා  වෙත නව පරපුරට අවස්ථාව හිමි වූවද නමුත් වර්තමානයේ දී  මෙම අභ්‍යාස ආයතන ද දැඩි ගැටලුකාරී  තත්වයයකට පත් වී තිබේ.

කාගෙත් සිත් සතුටු කළ සමාජයට බරක් නොවී පැවතුණු මෙම   රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ බොහෝ දෙනක් දැන් සිටින්නේ  සඟවා ගත් කඳුළු සමගය. 

ඒ ඔවුන් කළ වරදක් හේතුවෙන් නොවේ.

ආර්ථීක ඝාතනයක් ඇතිකරමින් සුළු  පිරිසක් කළ වරදක් නිසාවෙනි.