හංවැල්ල ඝාතනයේ සැකකරුත් වෙඩි පහරින් මරුට..

හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින් මරුට..

by Staff writer 06-01-2023 | 7:30 AM

COLOMBO (News 1st) –  හංවැල්ල , හරස්පාර ප්‍රදේශයේදී පසුගිය 19 වැනිදා වෙළෙඳසැල් හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කළ සැකකරු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, එම සැකකරු හංවැල්ල, දිද්දෙනිය කිඹුල්බනේ ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට තොරතුරක් ලැබුණු බවයි.

ඒ අනුව බස්නාහිර පළාත් දකුණු පොලිස් කණ්ඩායමක් විසින් අද(06) අලුයම සැකකරු අත්අඩංගුවට ගැනීමට හංවැල්ල , බිද්දෙණිය ප්‍රදේශයට ගොස් තිබේ.  

එම අවස්ථාවේදී සැකකරු පොලිසියට වෙඩි තබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය. 

එහිදී පොලිසිය කළ වෙඩි තැබීමේදී සැකකරු මිය ගොස් තිබේ. 

වෙළෙඳසැල් හිමිකරු පසුගිය වසරේ දෙසැම්බර් මස 19 වැනිදා වෙළෙඳසැල වසා නිවසට යාමට සූදානම්වූ අවස්ථාවේදී සැකකරු ඊට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදු කළේ ය.  

වෙඩි වැදීමෙන් මිය ගියේ , මොහොමඩ් ෆරුෂාන් නැමති 46 හැවිරිදි ව්‍යාපාරික තිදරු පියෙකි.  

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයකින් මෙම වෙඩි තැබීම සිදුකර පලා ගොස් තිබුණි.