හැරී කුමරුගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්..

තමා ඇෆ්ගනිස්ථානයේදී 25 දෙනෙකු ඝාතනය කළ බව හැරී කුමරු හෙළි කරයි..

by Shehani Sandeepa 06-01-2023 | 2:07 PM

COLOMBO ( News 1st ) - තමා ඇෆ්ගනිස්ථානයේ දී පුද්ගලයින් 25 දෙනෙකු ඝාතනය කර ඇතැයි සිය ස්වයං චරිතාපදානයෙන් සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු අනාවරණය  කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස කටයුතු කළ සමයේ අදාළ ඝාතන සිදුකර ඇති බව ය. 

2007-2008 කාලයේ ගුවන් ප්‍රහාරවල ඉදිරි ගුවන් පාලක ලෙස පළමුව ඇෆ්ගනිස්ථානයේ සේවය කළ අතර හැරී කුමරු පසුව 2012-2013 අතර කාලයේ ප්‍රහාරක හෙලිකොප්ටර්  නියමුවෙකු ලෙස කටයුතු කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉදිරි සතියේදී එළි දැක්වීමට නියමිත සිය ස්වයං චරිතාපදානය වන Spare නම් ග්‍රන්ථය ඔස්සේ ඔහු මේ බව අනාවරණය කර ඇති බවය.

මේ වන විට 38 හැවිරිදි වියේ පසුවන හැරී කුමරු ප්‍රහාරක ගුවන් යානා නියමුවෙකු ලෙස සිය යුධමය වෘත්තීය ජීවිතය තුළ යුධ මෙහෙයුම් 06කට සිය දායකත්වය ලබා දී ඇති අතර එම මෙහෙයුම් මිනිස් ජීවිත බිලි ගැනීමට හේතු වී ඇති බවය.

මෙම චරිතාපදානයෙන් ඔහු අනාවරණය කර ඇත්තේ,එම සිදුවීම පිළිබඳව තමන් උද්දාමයට පත් වීමක් හෝ ලැජ්ජා වීමක් සිදු නොවන බවය.

එමෙන්ම යුධමය තත්ත්වයක දී අනුමාන කෙරෙන ඉලක්ක ඉවත් කිරීම චෙස් පුවරුවක ක්‍රීඩා කිරීමක් බඳු යැයි ද ඔහු සටහන් කර ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

සිය අංකය 25 බවත් එම අංකය තමාව තෘප්තියට පත් කිරීමක් සිදු නොකරන බවත් ඔහු මෙම ග්‍රන්ථයෙහි සඳහන් කර තිබේ.

සිය නාසය මත රැඳවූ වීඩියෝ කැමරාව මගින් ප්‍රහාරක ගුවන් යානයේ කටයුතු නීරීක්ෂණය සහ ප්‍රහාර හමුවේ කොපමණ පිරිසක් ඝාතනය වී ඇති ද යන්න ගණනය කිරීමට හැකියාවක් පවතින බව ඔහු සඳහන් කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. 

9/11 ප්‍රහාරය හේතුවෙන් දිවි අහිමි වූ වින්දිතයින්ගේ පවුල්වල ඥාතීන් හමුවූ අවස්ථාවේ දී ඔහු මේ බව සාධාරණීයකරණය සිදු කර ඇති අතර වගකිවයුත්තන් සහ ඔවුන්ගේ අනුකම්පා සහගත ක්‍රියාකලාපයන් නිසා  "මනුෂ්‍යත්වයේ සතුරන්" බවත් ඔවුන් සමග  සටන් කිරීම මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයකට පළිගැනීමක් බවත් ඔහු පැවසීය.

සිවිල් වැසියන් දහස් ගණනකට දිවි අහිමි කරමින් වසර 20කට අධික කාලයක් පුරා ඇෆ්ගනිස්ථානයේ  බලය අල්ලා ගෙන සිටි බ්‍රිතාන්‍ය ඇතුළු විදෙස් රටවල් පසුගිය 2021 වසරේදී ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් ව ගියහ.

එළැඹෙන ජනවාරී 10 වැනිදා මෙම ග්‍රන්ථය එළි දැක්වීමට නියමිත අතර හැරී කුමරු මෙලෙස සිය සේවා කාලය තුළ සිදු වූ තලේබානු මරණ සම්බන්ධ යුධමය තොරතුරක් අනාවරණය කළේ ප්‍රථම වරට ය.