පුංචි ඡන්දය ගැන විපක්ෂයේ සැකය

ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දැමීමට විවිධ උපක්‍රම යොදමින් සිටිනවා - විපක්ෂය

by Staff writer 05-01-2023 | 8:49 PM

COLOMBO ( News 1st ) - විපක්ෂයේ පක්ෂ බොහොමයක් තවදුරටත් පෙන්වාදෙන්නේ, ආණ්ඩුව පළාත් පාලන ඡන්දය කල් දැමීමට විවිධ උපක්‍රම යොදමින් සිටින බව ය.

ලබන 17 වැනිදා රැස්වීමට පෙර  නියමකර තිබූ පාර්ලිමේන්තුව අද (05) නැවත කැඳවීමට පියවර ගෙන තිබුණි.

එහිදී පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව සිදුවූ කරුණු දෙකක් පිළිබඳව විපක්ෂය අද ( 05)  දැඩි අවධානය යොමුකළේ ය.

ඉන් එක් කරුණක් වූයේ, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව රීට් ආඥාවක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනුකර ඇති බව දැනුම් දී  ඇතැයි නියෝජ්‍ය කථානායකවරයා අද (05) රැස්වීම ආරම්භයේ කළ  දැනුම්දීමයි.

ඒ අතර විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පළාත් පාලන ආයතනවල තරුණ නියෝජනය වැඩි කිරීම සඳහා ප්‍රේම්නාත් සී. දොලේවත්ත මහතා ඉදිරිපත් කළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවට අදාළව  අමාත්‍යාංශ නිරීක්ෂණ ද  අද (05)  සභාගත කළේ ය.

විපක්ෂය පෙන්වා දුන්නේ මෙම  කරුණු දෙකම පළාත් පාලන ඡන්දය කල්දැමීමේ උත්සාහයක්දැයි සැකයක් මතුවන බවයි.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු  පා.ම. ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා අදහස් දක්වමින් පැවසූවේ,එකී 25% ක තරුණයින්ට 35 ට අඩු තරුණයින්ට ඒ අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සිය ස්තූතිය ගරු අග්‍රමාත්‍යතුමා වෙත පිරිනමන බව ය.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,

 මෙතුමාගේ මෙම  පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනාව ඉදිරිපත් කිරීමට  මාස 06කට පෙර  මෙම  යෝජනාව ඉමිතියාස් බාකීර් මාකර් ඇමතිතුමා ගෙන ආ බවත්,එම යෝජනාව පසෙක දමා  නොවැම්බර් මාසයේ ඉදිරිපත් කෙරූ  මෙතුමාගේ යෝජනාව ඉදිරියට ගැනීම ඉතාමත් නින්දිත ක්‍රියාවක් බව ය.

අග්‍රාමාත්‍ය  දිනේෂ් ගුණවර්ධන මහතා ද අදහස් පළ කරමින් කියා සිටියේ,විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  සභාව නොමග යවන බවය.