කංජිපානීගේ ඉන්දීය සම්බන්ධය කුමක්ද?

කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගියේ කොහොමද?

by Staff writer 03-01-2023 | 8:04 PM

COLOMBO (News 1st) - සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් ඉන්දියාවට පලාගොස් ඇත්තේ පාකිස්ථානයට ඇතුළුවීමේ සැලසුමකින් බව එරට මාධ්‍ය අද(03) වාර්තා කළේ ය.

ඇප ලබා දින කිහිපයක් තුළ මොහු රටින් පලා ගියේ කෙසේද?

පාතාල කල්ලි නායක කංජිපානී ඉම්රාන් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රාමේෂ්වරම් වෙත පැමිණ ඇතැයි ඉන්දීය බුද්ධි අංශ මීට පෙර පැවසුවේ ය.

එරට බුද්ධි අංශ, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ වෙත දැනුම්දී ඇත්තේ ඔහු තවත් පුද්ගලයෙකු සමග පසුගිය 25වැනිදා ඉන්දියාවට පැමිණ ඇති බවයි.

ඝාතන ඇතුළු අපරාධ රැසකට චෝදනා ලද කංජිපානි පසුගිය දෙසැම්බර් 20වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් ලක්ෂ 50ක ශරීර ඇපයක් මත මුදා හැරුණේ විදෙස් ගමන් තහනමක් ද පනවමිනි.

කංජිපානීගේ ඉන්දීය සම්බන්ධය කුමක්ද?

තමිල්නාඩුවේ, ට්‍රීචි හි විශේෂ සරණාගත කඳවුරක රඳවා සිටි මෙරට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 9 දෙනෙකු පසුගිය දෙසැම්බර් මාසයේදී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය භාරයට ගැනුණි.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ කුප්‍රකට පාකිස්ථාන මත්ද්‍රව්‍ය හා අවි ආයුධ ජාවාරම්කරුවෙකු සමග සමීප සබඳතා පැවැත්වූ බවට චෝදනා මත මේ පිරිස ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය භාරයට ගෙන ඇති බව ය.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සඳහන් කර ඇත්තේ, අත්අඩංගුවට ගත් දෙදෙනෙක් ඩුබායි, පකිස්ථානය සහ ඉරානය අතර නිතර ගමන් කළ පාකිස්නය පදනම් කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හාජි සලීම් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වා ඇති බව ය. 

මෙම පුද්ගලයින් සහ සලීම් ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ එල්.ටී.ටී.ඊ ය නැවත පනගැන්වීමට කටයුතු කරමින් සිට ඇති බවට ද චෝදනා එල්ලවී තිබේ.

ඔවුන් අතර ගමගේ සුරංග ප්‍රදීප් හෙවත් වැල්ලේ සුරංග ද විය.

වැල්ලේ සුරංග 2019 වසරේ අප්‍රෙල් 9වැනිදා මෙරටදී විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් අයෙකි.

එහිදී අනාවරණය වූ තොරතුරු අනුව මාකඳුරේ මධුෂ්ගේ සහ කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකි.

ඉන්දීය අත්අඩංගුවට ගැණුනු සී. ගුණසේකරන් හෙවත් කිඹුලාඇළේ ගුණා, නලින් චතුරංග හෙවත් ලඩියා සමග මෙන්ම පාකිස්ථාන මත්ද්‍රව්‍ය ජාවරම්කරු හාජි සලීම් සමග ද කංජිපානී ඉම්රාන් සබඳතා පවත්වා ඇතිබව එරට බුද්ධි අංශ පවසයි.

කවුද මේ කංජිපානී ඉම්රාන් ?

කංජිපානී ඉම්රාන් 2015 මාර්තු මස 28වැනිදා ඩුබායි බලා පිටව ගොස් තිබුණේ ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිත කරමිනි.

ඔහු ඇතුළු ඩුබායි හී සුඛෝපභෝගී දිවියක් ගත කරමින් සිටි මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ ඩුබායි හෝටලයකදී අත්අඩංගුවට පත් වූයේ 2019 වසරේ පෙබරවාරි 5 වැනිදායි.

අනතුරුව කජිපානී ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරුණු අතර කටුනායකදී මාලදිවයිනට පලායාමට උත්සාහ කළත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තේ ය.

පසුව මාකඳුරේ මධූෂ් පොලිස් අත් අඩංගුවේ සිටියදි සිදුවූ වෙඩි තැබීමකින් මිය ගියේ ය.

2019 වසරේ අගෝස්තු මාසයේ 23 කංජිපානි ඉම්රාන්ට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 06ක සිර දඬුවම් ලබා දුන්නේ ය. 

ඒ, 2013 සැප්තැම්බර් 18වැනිදා මලිගාවත්තේදී ගංජා කිලෝග්‍රෑම් 05 යි ග්‍රෑම් 300 ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරිමේ සිද්ධියකට වරදකරු කරමිනි. 

එහිදී කංජිපානි ඉම්රාන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂ්මන් පෙරේරා මහතා කියා සිටියේ, තම සේවාදායකයා මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් වරද පිළිගන්නා බව ය. 

ඒ අනුව එක් චෝදනාවකට වසර 03 බැගින් වසර 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් ලබා දීමට කොළඹ මහාධිකරණය නියෝග කළේ ය.

පසුගියදා ඔහු ඇපමත මුදා හැරියේ පොලිස් නිලධාරියෙකුට තර්ජනය කිරීමේ චෝදනාවට අදාළව ය.

එසේ නම් වසර හයක සිර දඬුවමට සිදුවූයේ කුමක්ද?

ඇප ලැබූ විගස රටින් පලාගියේ කෙසේද?