.webp)
16වැනි වියේදී බ්‍රසීල ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ වරම් දිනූ පේලේ තම 21 වසරක ක්‍රීඩා ජීවිතය තුළ ඉදිරි පෙළ ක්‍රීඩකයෙකු ලෙස නොමැකෙන සටහන් රැසක් ලොවට එක් කළේ ය.
බ්‍රසීලය වෙනුවෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා මෙන්ම ලොව වැඩිම ගෝල සංඛ්‍යාවක් රැස් කළ පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු පිහිටුවූ වාර්තා ඒවායින් කිහිපයක් පමණයි.
පාපන්දු පිටියේ අණසක පැතිරවූ ඔහු බ්‍රසීලයට ලෝක කුසලාන 3ක් දිනා ගැනීම සඳහා දායකත්වය ලබා දුන් අතර, වෙනත් කිසිදු ක්‍රීඩකයෙක් එවන් දක්ෂතාවක් දක්වා නොමැත.
''ඕ රෙයි'' (O Rei ) හෙවත් ''රජු '', '' ලෝකයේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා'' , ''සියවසේ ක්‍රීඩකයා'', ''ශත වර්ෂයේ ලෝක ක්‍රීඩකයා'' වැනි ගෞරව නාමයන්ගෙන්ද පේල් පිදුම් ලැබුවේ ය.
20 වැනි සියවසේ වැදගත්ම පුද්ගලයින් 100දෙනා අතරද පේලේගේ නම ඇතුළත් වේ.
වසර ගණනාවක් පීඩා විඳි රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා රෝහල්ගත කළ ඔහු පසුගිය සිකුරාදා අළුයම මෙලොවින් සමු ගන්නා විට 82 හැවිරිදි වියේ පසු විය.
ඔහුගේ අභාවය වෙනුවෙන් බ්‍රසීලය දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළ අතර දේහය මහජන ගෞරවය සඳහා තැම්පත් කර තැබුවේ ඔහු නියෝජනය කළ සැන්ටොස් ක්‍රීඩාංගනයේ ඉදිකළ විශේෂ ශාලාවක ය.
දහස් ගණනක් දෙස් විදෙස් ක්‍රීඩා ලෝලීන්, පාපන්දු ක්‍රීඩකයින්, අන්තර්ජාතික පාපන්දු සම්මේලන සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ
ඇතුළු පිරිසක් ඔහුගේ දේහයට ගෞරව දැක්වීමට සැන්ටෝස් ක්‍රීඩාංගනයට පැමිණිය හ.
මහජන ගෞරව පුද කිරීමෙන් අනතුරුව පේලේගේ දේහය පෙරහැරකින් පවුලේ සුසාන භූමියට රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි.