ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙත ලිපියක්

ඖෂධ මිල දී ගැනීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසා ඖෂධ කර්මාන්ත මණ්ඩලයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලිපියක්

by Staff writer 31-12-2022 | 8:47 PM

COLOMBO ( News 1st ) - ඖෂධ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ඉන්දියාවේ නිෂ්පාදකයින් දෙදෙනෙකුගෙන් මිලදී ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතු බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය මතුවී ඇති ගැටලු ගණනාවක් පිළිබඳව ප්‍රශ්න කර ඇති අතර මෙම මිලදී ගැනීමට නියමිත ඖෂධ වර්ග ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ලියාපදිංචි වී නොමැති ඒවා බවද  අදාළ ලිපියේ සඳහන් ය.

මෙරටට ආනයනය කර භාවිතා කළ යුතු ඖෂධ මොනවාද? යන්න තීරණය කරන එකම සහ අවසාන අධිකාරිය වන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියයි.

මෙම නිෂ්පාදන මිලදීගැනීමට අදාළව අමාත්‍යවරයා පෞද්ගලිකව ඉන්දියාවේ සංචාරයක නිරත වී ඇති අතර අදාළ ගිවිසුම් ද  අවසන් කර ඇති බව  ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්තකරුවන්ගේ මණ්ඩලය සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

එවැනි ක්‍රියාවන් කර්මාන්තයේ බරපතල ගැටළු මතු කරන අතර භයානක පූර්වාදර්ශයක් සපයන බව ද ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය ප්‍රකාශ කර තිබේ.

ඔවුන් ප්‍රශ්න කරන්නේ එවැනි ක්‍රියා 2015 ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුකූලද යන්න පිළිබඳව ය.

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා වෙත යැවූ ලිපියෙන් ඉල්ලා සිටින්නේ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්  අවශ්‍ය බවයි. 

එම වාර්තා සත්‍ය නම් එවැනි ක්‍රියාවලට එරෙහිව සිය විරෝධය පළ කරන බවද අදාළ ලිපියේ සඳහන් ය.