නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ජනවාරි මුල යළි සක්‍රීයයි..

අක්‍රීය කළ නොරොච්චෝලේ ජනන යන්ත්‍රය ලබන මස මුල යළි සක්‍රීය කෙරේ.

by Staff writer 30-12-2022 | 7:02 AM

COLOMBO ( News 1st ) –  ලබන 06 හෝ 07 වැනිදා නොරොච්චෝලේ බලාගාරයේ දැනට අක්‍රීය කර ඇති ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට එක් කරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. 

එහි සාමාන්‍යාධිකාරී රොහාන් සෙනවිරත්න මහතා සඳහන් ක‍ළේ, ගල් අඟුරු රැගත් නෞකාව මෙරටට ළඟා වීමත් සමග සම්පුර්ණ ධාරිතාවයෙන් බලාගාරය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි.

දැනට අදාළ නෞකාව දිවයින දෙසට යාත්‍රා කරමින් ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේ ය. 

සාමාන්‍යාධිකාරිවරයා පැවසුවේ නොරොච්චෝලේ බලාගාරය පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක කිරිමෙන් පසු ඉන්ධන බලාගාර ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතා සලකා බලන බවයි.

පසුගිය 22 වැනිදා මධ්‍යම රාත්‍රියේ නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් අක්‍රීය කළේ, නඩත්තු කටයුත්තක් සිදු කරන බව පවසමින් ය. 

මේ හේතුවෙන් මෙගාවොට් 300 ක් ජාතික විදුලි බල පද්ධතියට අහිමි වෙයි. 

මේ අතර , තවත් බොරතෙල් නෞකාවක් ලබන සතියේ දිවයිනට ළඟා වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ය. 

එමගින් මෙරටට රැගෙන එන බොරතෙල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 90,000 කි.

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට මෙමගින් හැකියාව ලැබෙන බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය. 

මේ අතර අදත් පැය 02 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ලබාදී තිබේ. 

ඒ අනුව A සිට L දක්වා සහ P සිට W දක්වා කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 20 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති. 

එම කලාප වලටම රාත්‍රි කාලයේදී යළි පැයක් විදුලිය විසන්ධි කරන බව මහජන උපයෝගිතා කොමිසම නිවේදනය කළේ ය.