.webp)
අද (29) පෙරවරුවේ මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියේ රුසියාවේ රෙඩ් වින්ග් ගුවන් සේවයට අයත් යානයකි.
ගුවන් තොටුපොළ බලධාරීන් ප්‍රකාශ කළේ,මොස්කව් සිට මෙම යානයෙන් සංචාරකයින් 412 ක් මෙරටට පැමිණි බවය.
පිරිස පිළිගැනීමට වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග ගුවන් තොටුපොළ බලධාරීන් හා ගුවන් සේවා සමාගමේ ඉහළ නිලධාරීන්ද පැමිණ සිටියහ.
මේ අතර රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පැවසුවේ, තමන්ගේ පූර්ණ මැදිහත්වීමෙන් මෙම ගුවන් සේවය සංචාරකයින් සමග මත්තලට පැමිණි බව ය.
රෙඩ් වින් ගුවන් සේවයේ මෙරට ප්‍රධාන නියෝජතයා ලෙස තිලක් වීරසිංහ මහතා කටයුතු කරන අතර ඔහුගේ ද සහය ඇතිව රුසියානු සංචාරකයින් ගෙන්වීම සිදුවන බව උදයංග වීරතුංග මහතා පැවසී ය.
ඇමරිකානු ඩොලර් මිලියන 210 ක වියදම් ඇස්තමේන්තුවකින් චීන ණය මුදලක් ලබාගෙන වැඩ ආරම්භ කළ මත්තල ජාත්‍යන්තර ගුවන් ගුවන් තොටුපොළ , විවෘත කලේ 2013 මාර්තු මාසයේදී ය.
එය සුදු අලි ව්‍යාපෘතියක් ලෙස බරපතල විවේචනයකට ලක්වූ අතර 2015 සිදුවූ ආණ්ඩු මාරුවත් සමග බලයට පත්වූ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මත්තල ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ පර්යන්තයේ වී ගබඩා කිරීමට පියවර ගත්තහ.
පසුව මත්තල ගුවන් තොටුපොළේ වී ගබඩා කිරීමෙන් සිදුවූ හානිය සොයා බැලීමට ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත්කෙරුණු අතර එවක අගමැති, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද මෙම කොමිසම හමුවට කැඳවීමට පියවර ගෙන තිබුණි.
පසුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ ගුවන් තොටුපොළ විෂයය භාර අමාත්‍යවරයා ලෙස පත්වූ ප්‍රසන්න රණතුංග මහතා අදාළ ආයතන නිලධාරීන් කැඳවූ රැස්වීමකදී නියෝග කළේ, වහාම ගුවන් තොටුපොළට සිදුවූ හානිය විමර්ශනය කර වාර්තාවක් සපයන ලෙසයි.
එහෙත් දැන් සිදුව ඇත්තේ කුමක්ද?
සුදු අලියෙකු ලෙස මත්තල විවේචනය කර වී ගබඩා කිරීමට නියෝග කළ පිරිස් දැන් නැවත බලයට පත්වී සිටිති.
මේ පිළිබඳව විමර්ශනය කිරීමට උපදෙස් දුන් ඇතැම් අයත් ඔවුන් යටතේ ඇමති තනතුරු දරමින් සිටිති.