ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමත් ප්‍රමාද වන ලකුණු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත් කිරිම දින නියමයකින් තොරව කල් යයි ..

by Staff writer 29-12-2022 | 7:33 PM

COLOMBO ( News 1st ) - 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහතික කර මාස දෙකකට ආසන්න කාලයක් ගතවී ඇතත්, තවමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් සාමාජිකයින් පත්කර ගැනීමට නොහැකි වී තිබේ.

මේ නිසා මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත් කිරීම ද තවදුරටත් ප්‍රමාදවනු ඇති. 

පාර්ලිමේන්තුවේ සම්මත කරගත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ස්වාධීන කොමිෂන් සභා ඇතුළු පත්කිරීම් රැසක් සිදුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අවශ්‍යය වන අතර මෙම සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් ය.

කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා ඒ සඳහා පත්වන්නේ නිල බලයෙනි.

ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස මේ වනවිට නිමල් සිරිපාල ද සිල්වා මහතා පත්කර ඇති නමුත්  සෙසු පත්කිරීම් සම්බන්ධයෙන් මේ වනවිටත් එකඟතාවක් ඇති බවක් පෙනෙන්නට නොමැත.

ආණ්ඩු පක්ෂයේ බහුතර එකඟතාව මත පත් කරන නියෝජිතයා ලෙස සාගර කාරියවසම් මහතාගේ නම  යෝජනා වී තිබේ.

නමුත් මෙම පත්වීම තවමත් ස්ථිර වී නොමැති අතර විපක්ෂ නායකවරයා නියෝජනය කරන පක්ෂයේ නියෝජිතයා ලෙස, කබීර් හෂීම් මන්ත්‍රීවරයාගේ නම යෝජනා කර ඇති අතර ඔවුන්ගේ ස්ථාවරය වී ඇත්තේ ඡන්ද කල් දැමීමේ උපායක් ලෙස ව්‍යවස්ථා සභාවට කරන පත්කිරීම උපයෝගී කර ගන්නේ නම් මේ පත්කිරීමවලට එකඟ නොවන බවයි.

ආණ්ඩුව හෝ විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන පක්ෂවල නියෝජිතයා පත් කිරීම සම්බන්ධයෙන් ද ඇත්තේ විවාදාත්මක තත්ත්වයක් වන අතර දෙමළ ජාතික සන්ධානයෙන් මේ සඳහා ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා යෝජනා කර තිබේ.

එසේම  උත්තර ලංකා සභාගය යෝජනා කර ඇත්තේ උදය ගම්මන්පිල මහතා පත්කළ යුතු බවයි.

අගමැතිවරයා හා විපක්ෂනායකවරයාගේ එකඟතාවයෙන් පත්කළ යුතු සිවිල් නියෝජිතයින් තිදෙනා පත්කර ගැනීම ද තවමත් ප්‍රමාදවෙමින් පවතී.

අප කල විමසීමකදී කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ, ඒ සදහා අයදුම්පත් කැදවීමක් සිදුකල අතර මේ වනවිට 112 දෙනෙකු අයදුම්කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන, අගමැති දිනේෂ් ගුණවර්ධන සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අද (29)  පාර්ලිමේන්තුවේදී හමු වූ නමුත් එම සාකච්ඡාව අවසන් වූයේ එකඟතාවකින් තොරව ය.

අප කළ විමසීමකදී  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ  කළේ,සියළුම සාමාජිකයින් පත්කරන තෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පත්කිරීම් ප්‍රමාදවීමේ ප්‍රතිඵලය වන්නේ ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීම ද තව දුරටත් ප්‍රමාදවීම ය.

මැතිවරණ, රාජ්‍ය සේවා, ජාතික පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ චෝදනා, මුදල්, සීමා නීර්ණය හා ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය අවශ්‍ය වේ.

කෙසේවෙතත්, මෙම නව පත්කිරීම් ප්‍රමාද වුවත් දැනට ක්‍රියාත්මක කොමිෂන් සභාවලට ක්‍රියා කිරීම සඳහා අදාළ ප්‍රතිපාදන 21 වන සංශෝධනයට ඇතුළත් වන අතර මේ සංශෝධනයෙන් ව්‍යවස්ථාවට අතුළත් කළ 41 ඊ වගන්තියට අනුව නව සාමාජිකයින් පත් කරන තෙක් දැනට සිටින සාමාජිකයින්ට එම ධුරයේ කටයුතු කළ හැකිය.