ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ඉන්දීය තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය නම් කෙරේ

by Staff writer 28-12-2022 | 5:57 PM

COLOMBO (News 1st) - ඉන්දීය සංචාරය සඳහා ශ්‍රී ලංකා එක් දින සහ 20යි 20 සංචිතය අද (28 )  ප්‍රකාශයට පත් කළේ ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිකුත් කළ නිවේදනයක දැක්වූයේ, 20 දෙනෙකුගෙන් සමන්විත සංචිතයට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතිය හිමි වූ බවයි.

මෙවරද කණ්ඩායම මෙහෙය වීමේ වගකීම දසුන් ශානකට හිමිවන අතර එක් දින කණ්ඩායමේ උප නායකත්වය කුසල් මෙන්ඩිස්ටත්, 20යි 20 කණ්ඩායමේ උප නායකත්වය වනිඳු  හසරංගටත් හිමිව තිබේ.

ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගාවලියට ඇතුළත් නොවූ සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, ඩිල්ශාන් මදුශංක, නුවනිඳු ප්‍රනාන්දු සහ නුවන් තුෂාර ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් වේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත්  දැක්වූයේ, භානුක රාපක්ෂ සහ නුවන් තුෂාර පන්දුවාර 20යි 20 සංචිතයට පමණක් ඇතුළත්කර ඇති බවයි.

ජෙෆ්රි වැන්ඩසේ සහ නුවනිඳු ප්‍රනාන්දු එක් දින සංචිතයට පමණක් කැඳවා ඇත.

සංචිතයේ සෙසු ක්‍රීඩයින් වන්නේ පැතුම් නිස්සංක, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, අශේන් බණ්ඩාර, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දුනිත් වෙල්ලාලගේ සහ ලහිරු කුමාර යි.

මෙම තරගාවලියට එක් දින සහ 20යි 20 තරග 3 බැගින් ඇතුළත් වේ.

ජනවාරි 3 වැනිදා මුම්බායිහි වංකඩේ  ක්‍රීඩාංගනේදී පැවැත්වෙන 20යි 20 තරගයෙන්, මෙම තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත.