සුෂාන්ත් සිං සියදිවි නසා ගත්තා ද? ඝාතනය කළා ද?

බොලිවුඩ් නළු සුෂාන්ත් සිං සියදිවි නසා ගත්තා ද? ඝාතනය කළා ද?.. ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

by Staff writer 27-12-2022 | 4:07 PM

COLOMBO (News 1st) - MS Dhoni: The Untold Story චිත්‍රපටයෙ මහේන්ද්‍ර සිං දෝනිගේ චරිතයට පණ පොවමින්  අතිවිශිෂ්ට රංගනයක නිරත වූ සුෂාන්ත් සිංගෙ මරණය සියදිවි නසා ගැනීමක් ද? එහෙමත් නැත්නම් ඝාතනයක් ද? 

සුෂාන්ත්ගේ මරණය පිළිබඳ පුවත ඒවිදිහට යළිත් කරළියට එන්නේ, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය රැ‌ගෙන ගිය  රෝහලේ මෘත ශරීරාගාරයේ සේවකයෙකු  කළ ආන්දෝලාත්මක ප්‍රකාශයක් සමගයි. 

රූපකුමාර්  නමැති අදාළ සේවකයා ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ, සුෂාන්ත්ගේ මරණය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බවයි. 

2020 ජුනි 14 වැනිදා  නිවසේ මිය ගොස්  සිටියදි සොයා ගැනුණු සුෂාන්ත්ගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රැගෙන ගොස් තිබුණේ, මුම්බායි හි   රෝහලක් වෙතයි.

එම අවස්ථාවේ සුෂාන්ත්ගේ මරණය වාර්තා වූයේ,  සියදිවි නසා ගැනීමක් ලෙසයි. 

සුෂාන්ත්ගේ මරණය සම්බන්ධයෙන් මෙලෙස ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ රූපකුමාර්   පවසන්නේ, අදාළ දිනයේ  තමන් මෘත ශරීරාගාරයේ සේවය කළ බවයි.

 නළුවාගේ සිරුරේ සහ බෙල්ලේ සලකුණු කිහිපයක් තිබෙනු තමන් නිරීක්ෂණය කළ බව ඔහු පවසයි. 

"පශ්චාත් මරණ පරීක්ෂණය කරන්න ගියාම තමයි දැනගත්තෙ, එයා සුෂාන්ත් කියලා. එයාගේ අවස්ථාව ආවේ රෑ 11.00 ට විතර. ඒක සියදිවි නසාගැනීමක් කියලා ඇතුළෙ කතා වුණා.  මට අවුරුදු 28ක අත්දැකීමක් තියෙනවා, ඒක සියදිවි නසාගැනීමක් ද? නැද්ද කියලා සිරුරක් දිහා බැලුවම තේරුම් ගන්න පුළුවන්.  සුෂාන්ත්ගේ මරණය දැක්කම ඒක සියදිවි නසාගැනීමක් කියලා පෙනුණේ නැහැ. තුවාල සලකුණු තිබුණා. මම මගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියට මේ ගැන කිව්වා. නමුත් ඔහු කිව්වා අපි ඒක පස්සෙ, සාකච්ඡා කරමු, කියලා''

මේ පුවත කන වැකීමත් සමග ඔහුගේ සොයුරිය ඉන්දීය ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බවයි.

ඉදිරි දින කිහිපයේ දී බොලිවුඩ් ලෝකය මේ ගැන අවධානයෙන් පසුවේවි.