මොකක්ද මේ ඖෂධ හදිසි මිලදී ගැනීම?

ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොලබා ඉන්දීය ඖෂධ ගණනාවක් මිලදී ගැනීමේ උත්සාහයක්..

by Staff writer 26-12-2022 | 9:34 PM

COLOMBO (News 1st) - ඖෂධ නියාමන අධිකාරියේ අවසරය නොලබා ඉන්දීය ඖෂධ ගණනාවක් මිලදී ගැනීමේ උත්සාහයක් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තියසමිත සන්ධානය පවසයි.

ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

මොකක්ද මේ ඖෂධ හදිසි මිලදී ගැනීම?

පවත්නා විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රටට අවශ්‍ය ඖෂධ නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියන් තුළින් හිඟයකින් තොරව ආනයනය කිරීමේ ගැටලුවකට රජය මුහුණදී සිටී.

පවතින ඖෂධ හිඟයට පිළියමක් ලෙස විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඖෂධ හදිසි මිලදී ගැනීමකට අදාලව අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඔක්තෝබර් 25වැනිදා ඉදිරිපත් කළේ ය.

එහි දැක්වුනේ, දින 45ක් ඇතුළත ලංකාවට මාස 3ට ප්‍රමාණවත් වෛද්‍ය සැපයීම් ලබා දීමට ඉන්දියාවේ ගුජරාට්හි, සේවරිට් ඖෂධ නිෂ්පාදන පෞද්ගලික සමාගම එකගතාව පළ කර ඇති බවයි. 

ඒ අනුව, ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඉතිරිව ඇති අරමුදල් සහ වෙනත් අරමුදල් භාවිත කරමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමත වෛද්‍ය සැපයුම් ආනයනය කිරීමට සැලසුම් කර තිබේ.

මේ වෙනුවෙන් ඉන්දීය සේවරිට් ඖෂධ නිෂ්පාදන පෞද්ගලික සමාගමට සහ වෙනත් තෝරාගත් සැපයුම්කරුවන් වෙත අවසර ලබා දෙන ලෙස අදාල කැබිනට් පත්‍රිකාවෙන්  අනුමැතිය ඉල්ලා තිබුණි. 

පුබුදු ජාගොඩ - අධ්‍යාපන ලේකම් 
පෙරටුගාමී සමාජවාදී පක්ෂය 

"මේක අන්සොලිසිටඩි නිසා ටෙන්ඩර් කැඳවීමකින් තොරව මේ සමාගමට අනුමැතිය දීලා තියෙන නිසා මේකට තවත් සමාගම් 02ක අනුමැතිය අවශයයි කියලා මුදල් අමාත්‍යංශය කියනවා. මුදල් අමාත්‍යංශය විසින් එවලා තියෙන නිරික්ෂණ පත්‍රිකාවට අත්සන් තබලා තියෙන්නේ මුදල් අමාත්‍යවරයා විදියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ. මේක වෙන්න ඇත්තේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් මේ වංචාවක් සිද්ධ වෙනවා කියලා දැනගෙන ඒක වැළැක්වීම සඳහා නිර්දේශ කරලා තියෙනවා මේ සේවරිට් කියන සමාගමට මේක දෙනවා නම් අර කමිටු 2කේ අනුමැතිය ඇතුව තමයි දෙන්න පුළුනන් එහෙම නැතුව දෙන්න බෑ කියලා.

මේ අතර කෞෂික් නම් වෙනත් ඉන්දීය සමාගමකින් අදාල හදිසි මිලදී ගැනීම සඳහා අමාත්‍යවරයා තවත් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නැති ඖෂධ වර්ග 28ක් සඳහා කැබිනට් මණ්ඩලය නොමග යවලා මේවාට ඖෂධ නීතිගත සංස්ථාවේ අනුමැතිය තියෙනවා කියලා බොරු කියලා අනුමත කරගෙන තිබෙනවා. ඖෂධ වර්ග 28 තියෙන ප්‍රශ්නය තමයි මේකෙන් 12 ක්ම ලංකාවේ හදනවා. ඇත්තටම මේකෙන් 3ක් රාජ්‍ය ඖෂධ නිශ්පාදන සංස්ථාව මගින් නිෂ්පාදනය කරනවා."


මේ නැගෙන බරපතල චෝදනා ගැන ඇමතිවරයා දැන් පවසන්නේ කුමක්ද?

පසුගිය 22වැනිදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ටුවිටර් ගිණුමේ සටහනක් තබමින් කියා සිටියේ,  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා සමග ඉන්දියාවේ රැඳී සිටින බවයි.

සිය ඉන්දීය සංචාරය සඳහා කිසිදු රජයේ මුදලක් වැය කර නොමැති බවත්, පෞද්ගලික මුදල් යොදවමින් ඊට එක්ව සිටින බවත් අමාත්‍යවරයා සිය ටුවිටර් සටහනින් දක්වා තිබුණි.


 තවදුරටත් අදහස් දැක්වූ පුබුදු ජාගොඩ මහතා,

"ඉන්දියාවේ චෙන්නායිවල තිබෙන තරු පහේ හෝටලයක කාමර තමයි වෙන්කරලා තියෙන්නේ. කාමරයකට එක දවසකට ගෙවනවා ඩොලර් 400 ක්. කවුද සල්ලි ගෙවලා තියෙන්නේ. සල්ලි ගෙවලා තියෙන්නේ කවුෂිත් සමාගම. අදාල සමාගම තමයි හෝටල් ගාස්තු ගෙවන්නේ. නිශ්චිතවම මේක අල්ලසක් නොවේද?"

මෙම හදිසි මිලදී ගැනීම්වලට අදාලව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ.

අදාල මාධ්‍ය නිවේදනයේ දැක්වෙන්නේ, දේශීය වශයෙන් නිෂ්පාදිත ඖෂධ වෙළෙඳපොළට නිකුත් කිරීමට පෙර නිසි තත්ත්වය පරීක්ෂණයට ලක් නොකිරීම සහ ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය නොලබා ඉන්දියානු ඖෂධ ලබා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් දරණ උත්සහයක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

හෙළිදරව් වී ඇති කරුණු අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා, අමාත්‍යංශය සහ ජනාධිපතිවරයා නොමග යවා ඇති බවද එහි සඳහන් වේ. 

මෙම තත්ත්වය පාලනය කිරීමට ජනාධිපතිවරයා වහා මැදිහත්විය යුතු බවත්, හැකි ඉක්මනින් සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය ලේකම්වරයා ඉවත්කොට නව පරිපාලනයක් බිහි කරන ලෙසද ඔවුන් ඉල්ලා සිටී.