ආශුට විමර්ශනවල ප්‍රගතිය විමසා පැමිණිල්ලක්

ආශු මාරසිංහට එරෙහි සත්ත්ව අපයෝජන චෝදනාවේ විමර්ශනවල ප්‍රගතිය විමසා පැමිණිල්ලක්

by Staff writer 25-12-2022 | 8:54 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ හිටපු උපදේශක මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිටින සත්ත්ව ලිංගික අපයෝජනයක් සහිත වීඩියෝ පටය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල ප්‍රගතිය විමසා පීපල්ස් ටුමෝරෝ සංවිධානය අද(25) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිදු කළේ ය. 

පීපල්ස් ටුමෝරෝ සංවිධානයේ සභාපති නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා සමාජ ක්‍රියාකාරී ලැසිල්ද සිල්වා මහතා ඇතුලු ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේ ය.

ඔවුන් පවසන්නේ ආශු මාරසිංහ මහතාගේ බව දැක්වෙන වීඩියෝ පටයේ දැක්වෙන දර්ශන අනුව ඔහු බරපතල වරදක් සිදුකර ඇති බවයි.

පීපල්ස් ටුමෝරෝ සංවිධානයේ එම ලිපිය ඉදිරිපත් කරමින්, පොලිස්පතිවරයාගෙන් විමසා ඇත්තේ,

1. අපරාධකරුට එරෙහිව තවමත් පියවර ගෙන නැත්තේ කාගේ මග පෙන්වීම යටතේ ද.

2. මහාචාර්ය ආශු වීරසිංහ මහතා සම්බන්ධයෙන් ගනු ලබන ක්ෂණික ක්‍රියාමාර්ග මොනවාද

3. අනාගතයේ දී එවැනි හිංසනයන් වළක්වා ගැනීමට ගන්නා ක්‍රියා මාර්ග මොනවාද යන කරුණුයි.

අදහස් දැක්වූ පීපල්ස් ටුමෝරෝ සංවිධානයේ සභාපති නීතීඥ අමිල එගොඩමහවත්ත මහතා,

අපිත් සමග සාකච්ඡා කරන ලද සත්ත්ව අයිතිවාසිකම් පිළිබඳව කටයුතු කරන සංවිධාන සහ යම් පුද්ගලයින් විසින් අපෙන් ඉල්ලීමක් කළා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ මේ රටේ වගකිවයුතු පාර්ශව වෙත අවධානය යොමු කරන්න කියලා, ඒ අනුව අපි අද දින පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් සිද්ධ කළා. ඒ වගේම ඒ පැමිණිල්ල ජනාධිපතිවරයාට නීතිපතිවරයාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ඇතුළු මේ රටේ තවත් වගකිවයුතු ආයතන ගණනාවකට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.  අපිට කෙනෙකුගේ පෞද්ගලිකත්වය පිළිබඳව කිසිම ගැටළුවක් නැහැ. නමුත් රටක වගකීමක් දරන ජනාධිපතිවරයෙකුගේ උපදේශකයෙකු වගේ ඉහළ ඉහළ තනතුරක් දරන, පුද්ගලයෙකුගේ හැසිරීම සහ ක්‍රියා ක්‍රියාකලාපය සම්බන්ධයෙන් මේ රටට යම් වගවීමක් තියෙනවා. අංක එකට ඔහු ඉල්ලා අස්වීම පමණක් ප්‍රමාණවත් නොවෙයි කියන තැන අපි මේ රටේ ජනතාව විදියට ඉන්නවා. ඒ වගේම මේ ජනාධිපතිවරයා අපි දන්නවා ජනතාවගේ ඡන්දයෙන් තෝරා පත් කරගන්නා ලද ජනාධිපතිවරයෙක් නෙමෙයි. මේ ඇවිල්ලා සිලෙක්ටඩ් ප්‍රසිඩන්ට් කෙනෙක්. එතකොට ඔහු තමන්ගේ  පාලන කාලය තුළ, මේ ආයතන වලට තමන්ගේ උපදේශකත්වය සඳහා පත්කර ගන්නා පුද්ගලයින් පිළිබඳ ඒ අයගේ ගුණාත්මකභාවය පිළිබඳව රටේ ජනතාව විදියට ප්‍රශ්නයක් තියෙනවා. මෙහි වින්දිතයෙක් වෙන්නේ කතා කරගන්න බැරි සත්වයෙක්. දැන් මේ රටේ මේ වගේ සිද්ධීන් හරහා ලෝකයට කියන්නේ සත්වයින්ගේත් අයිතිවාසිකම් කඩ වෙනවා ද කියන ප්‍රශ්නය. දැන් අපිට දැනගන්නට ලැබෙනවා මේ කාරණාව අනාවරණය කරපු මාධ්‍ය ආයතන වලට විරුද්ධව කොහොමද නීතිය ක්‍රියාත්මක කරන්නේ කියලා මේ මන්දිර තුළ කුමන්ත්‍රණ සිද්ධ වෙනවා කියලා. අපි මේ පාලකයින්ට කියලා තියෙන්නේ, පැහැදිලිවම සඳහන් කරනවා. මේ සිද්ධිය බැලූ බැල්මට මෙරට දණ්ඩ නීති සංග්‍රහයේ 365 1995 අංක 22 දරණ පනතින් සංශෝධනය වෙච්ච, ඒ පනතේ සඳහන් ප්‍රතිපාදනයන් යටතට පැහැදිලිවම වැටෙනවා අස්වාභාවික ක්‍රියා කියන කාරණා යටතේ. ඒ යටතේ දඬුවම් කළ හැකි නීතිය පැහැදිලිවම තියෙද්දි, ඒ සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් නොගෙන මේ වින්දිතයින් සහ ඒ කාරණා රටට කියන මේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ක්‍රියාත්මක කරන මාධ්‍ය ආයතන දඩයම් කරන්න හදනවා නම්, අපි ඒ කාරණාවත් මේ අවස්ථාවේදී හෙළා දකිනවා..

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකාවේ සත්ත්ව සුභසාධන සහ සත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සාමූහිකය පොලිස්පතිවරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවේ සත්ත්ව සුභසාධන සහ සත්ත්ව හිමිකම් ක්‍රියාකාරීන්ගේ සාමූහිකය මෙරට සත්ත්ව සුභසාධනය වෙනුවෙන් කටයුතු කරන ප්‍රධානතම සංවිධානයකි.

මීට අදාල පරීක්ෂණ ඉක්මණින් සිදුකරන ලෙසත්, යුක්තිය කඩිනමින් සිදුකළ යුතු බව ඔවුන් එම ලිපිය මඟින් ඉල්ලා තිබේ.

විමර්ශන සඳහා කිසිදු අයුතු බලපෑමක් සිදු වීම වලක්වන ලෙස ද ඔවුන් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මීට අදාළ අදාල වීඩියෝ පටය සත්‍යක් නම් ආශු මාරසිංහ මහතා අත්අඩංගුවට ගෙන දණ්ඩ නීති සංග්‍රහය පරිදි දඬුවම් කළ යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.

මෙම ක්‍රියාව නිසැකවම නීතිය උල්ලංඝනය කිරීමක් වන අතර මෙම පුද්ගලයා දරුවන්ට, සතුන්ට හා සමස්ත වශයෙන් සමාජයේම ආරක්ෂාවට තර්ජනයක් බව එම ලිපියේ සඳහන් වේ.