''මේක සංස්කරණය කරපු වීඩියෝවක්''

සත්ත්ව අපයෝජන චෝදනාවට එරෙහිව ආශු මාරසිංහ CID යයි: ''මේක සංස්කරණය කරපු වීඩියෝවක්'' - ආශු මාරසිංහගේ නීතිඥයා

by Staff writer 24-12-2022 | 8:35 PM

COLOMBO (News 1st) - ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේෂක ධුරයෙන් හදිසියේ ඉල්ලා අස් වූ මහාචාර්ය ආශු මාරසිංහ මහතා අද (24) නීතිඥවරයෙකු සමග පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට පැමිණිල්ලක් කර තිබේ.

ඒ, තමන්ට එරෙහිව විකෘති කරන ලද වීඩියෝ දර්ශන යොදා ගනිමින් අසත්‍ය තෙරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධව විමර්ශනයක් කරන ලෙස ඉල්ලමිනි.

මේ අතර පරිසර සංවිධාන, සත්ත්ව අයිතිවාසිකම් සුරකින ක්‍රියාකාරීන් අතුළු පිරිසක් අද පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කරමින් කියා සිටියේ, මහාචාර්ය ආශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් වහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි.

අද දහවල් නීතිඥවරයෙකු සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මහාචාර්ය ආශු මාරසිංහ මහතා සිය පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසුව මාධ්‍ය කළ විමසීමට දුන් පිළිතුර මේ.

හිටපු ජනාධිපති උපදේශක, මහාචාර්ය ආශු මාරසිංහ මහතා,

මෙම අසත්‍ය කාරණය නීතිය ඉදිරියේ තියන ප්‍රශ්නයක්, නීතිඥතුමා සියලු කාරණා විස්තර කරයි මම ඒ ගැන කතා කරන්නේ නැහැ නීතිඥතුමා සියල්ල විස්තර කරයි.

නීතිඥ ප්‍රවී කරුණාරත්න මහතා,

මාගේ සේවාදායකයා වන ආචාර්ය අශු මාරසිංහ මහතා සම්බන්ධයෙන් ඉතාමත් පිළිකුල් සහගත ලෙස ජුගුප්සාජනක අසත්‍ය සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් මේ වනවිට සමාජ ජාල තුළ සංසරණය වනවා. ඡයා රූප කිහිපයක් කරුණු විකෘති වෙන විදියේ ඡායා රූප කිහිපයක් ඉදිරිපත් කරමින් මාධ්‍ය සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වුණා. ඒ සම්බන්ධව මේ සිය කරුණු සිදුවීමට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මගේ සේවාදායකයා විසින් පැමිණිල්ලක් ඉදිරිත් කර තිබුණා. මේ පැවති තර්ජනය සම්බන්ධයෙන්. විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඔ්න මෙම මගේ සේවාදායකයා හා එක්තරා කාන්තාවක් අධ්‍යක්ෂ ධුරය දරණ සමාගමක ඇති වන ආරවුලක් සහ ඒ සමාගමේ ආරවුල මත විශාල මුදල් ප්‍රමාණයක් මගේ සේවා දායකයාගෙන් ඉල්ලා තිබෙන පසුබිමකයි මෙම කරුණු සිදු වෙන්නේ දැන් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත  ප්‍රකාශයක් අද දින මගේ සේවාදායකයා විසින් ලබා දුන්නා.

අද පස්වරුවේ පොලිස් මූලස්ථානයට පැමිණි පරිසරවේදීන් සහ සත්ත්ව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිනි ක්‍රියාකාරීන් පිරිසක් හිටපු ජානාධිපති උපදේශක ආශු මාරසිංහ මහතාට එරෙහිව පැමිණිල්ලක් කළේ ය.

රෙයා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, පංචාලි පනාපිටිය,

එක හරිම දරුණු දෙයක්. හුඟක් අය මං දැකලා තියෙනවා මේක විහිලුවකට වගේ අරන් තියෙනවා. නමුත් මේක සමාජයට ලොකු තර්ජනයක් මෙහෙම විකෘති කාමාශාවල් තියෙන මිනිස්සු. දැන් නිකං හිතලා බලන්න මේ දේම පොඩි ළමයෙක්ට උනා නම්. මේ වගේ මිනිස්සු සමාජය අපි ඇවිදගෙන යනකොට දරුවෙක් කොහොමද පාරකට යවන්නේ. කාන්තාවක් කොහොමද බය නැතුව පාරේ යන්නෙ. මේ මහචාර්යවරයා උගන්වන ශිෂ්‍යයන්ට එහෙම මොනවා කරනව ඇද්ද. අපට හිතාගන්න බෑ. මේ එක වීඩියෝ එකක්නෙ එළියට ඇවිත් තියෙන්නෙ. මේ බලු පැටියාට තව මොනවා කරන්නද හිතලා බලන්නකෝ. මේක සත්ත්ව හිංසනයට වගේ ම සමාජ ආරක්ෂාවට ඉතාම දරුණු දෙයක් ලොකු ත්‍රෙට් එකක් කියලා තමයි මට කියන්න තියෙන්නේ

මේ අතර තවත් ක්‍රියාකාරී පාර්ශව කිහිපයක් මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්විය.

සත්ත්ව සුබසාදනය හා සමාජ ආරක්ෂාව සඳහා වූ මහනුවර සංසදයේ ලේකම් චම්පා ප්‍රනාන්දු,

දැන් මේ චෝදනාවට ලක් වී ඇති මහා වැදගත් යැයි කියන චරිතය ගැන අපි කතා කරනවා. මොහු රටේ තීන්දු තීරණ ගැනීමට පවා සම්බන්ධ වූ කෙනෙක්. මම බලාපොරොත්තු වෙනවා ඔහුගේ මේ ක්‍රියාව පිළිබඳව විදෙස් මාධ්‍යවල හා ජාත්‍යන්තර සත්ත්ව සංවිධානවල අවධානය යොමු විය යුතුයි කියලා. මම බලාපොරොත්තු වෙනවා ඔහුගේ මානසික මට්ටම පරීක්ෂා කළ යුතුයි කියලා. මම හිතනවා මෙයට සාධරණය ඉටුවෙයි කියලා. මම හිතනවා මෙම හිංසනයට ලක් වූ එම සුනඛයාට ප්‍රතිකාර ලබා දෙනවා කියලා.

මේ අතර ශ්‍රී ලංකාවේ සත්ත්වයින් මුදවා ගැනීමේ සංවිධානය ද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම හෙළා දැක ඇති අතර මේ සම්බන්ධයෙන් වහා නීතිමය ක්‍රියාමාර්ගගත යුතු බව අවධාරණය කරයි.

එහි නියෝජිත අනුෂා ඩේවිඩ් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, අපයෝජනය දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර හඬක් නැගිය නොහැකි සත්ත්වයින් අපයෝජනයට ලක් කිරීම බරපතළ වරදක් බවයි.

මෙම නින්දිත ක්‍රියාව මගින් රටටත් වත්මන් ආණ්ඩුවටත් දැඩි කැලලක් බව ද ශ්‍රී ලංකාවේ සත්ත්වයින් මුදවා ගැනීමේ සංවිධානය පෙන්වා දෙයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් කඩිනමින් විමර්ශනයක් ආරම්භ කරන ලෙස ගෝලීය සත්ත්ව සංවිධානයක් වන පීඊටීඒ සංවිධානය ද නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

අදාළ විමර්ශනවලින් ආශු මාරසිංහ මහතා වරදකරු වුවහොත් මෙරට නීතිය යටතේ දිය හැකි උපරිම දඬුවම් ලබාදිය යුතු බව එම සංවිධානය පෙන්වා දෙයි.

අරගලයේ නීතිඥයෝ නීතීඥ මනෝජ් නානායක්කාර,
 
දැන් අංශු මාරසිංහ සම්බන්ධයෙන් බලපැවැත්වෙන නීතිමය තත්ත්වය මොකක්ද. දණ්ඩනීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ ඒකෙ කියනවා යම් පුරුෂයෙක් ස්ත්‍රියක් හෝ සතෙකු සමග ස්වභාවධර්මයට විරුද්ධව කැමැත්තෙන්ම කාමුක සංසාර්ගයේ යෙදෙන තැනැත්තෙකුට අවුරුදු 10ය දක්වා කාලයක ක්‍රියාකාරීන් එක් කාලයක්. ඒ කියන්නේ බරපතළ වැඩ සහිතව හෝ නැතිව බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කළ යුතුය. ඔහු දඩයකට යටත් විය යුතුය. දණ්ඩ නීති සංග්‍රහය තුළින් 365 වගන්තිය තුළින්ම බොහොම පැහැදිලිව වරදක් බවට අපරාධමය වරදක් බවට අවුරුදු දහය දක්වා සිර දඬුවමක් දෙන්න පුළුවන් ඒක අවුරුදු 20 දක්වා වැඩි කරන්න පුළුවන්. ඒ මට්ටමේ වරදක් බවට බොහොම පැහැදිලිව මේ දණ්ඩ නීති සංග්‍රහය තුළ අන්තර්ගත කරලා තියෙනවා. දැන් මේ වෙනකොට අපිට පොලීසියේ තියෙන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අපට ලැබෙන තොරතුරු තමයි. පොලීසිය ඉහළම විශේෂයෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ ඒ වගේ ඉහළ නිලධාරීන් සමග යම් කතිකාවතක් පවත්වාගෙන යනවා  මේ වෙනකොට අභ්‍යන්තර සාකච්ඡාවක් පවත්වාගෙන යනවා මේක හෙළිදරව් කරපු මාධ්‍ය සම්බන්ධයෙන් මොකක්ද ගන්න පුළුවන් පියවර කියලා. ඊයේ තිබුණ ප්‍රවෘත්ති සාකච්ඡාව හරහා හෙළිදරව් කරපු ඡායාරූප හෝ දැන් මේ වෙනකොට වයරල් වෙලා යන අංශු මාරසිංහගේ ඒ වීඩියෝ පටය ගැන ඒ අදාළ ජනමාධ්‍ය ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්න බෑ.

අරගලයේ නීතිඥයෝ සංවිධානයේ සභාපති, නීතිඥ අමිල එගොඩ මහවත්ත මහතා,

මේ කාරණාව පිළිබඳව අනාවරණය කරපු මාධ්‍ය ආයතනට සම්බන්ධයෙන් මේ වනවිට සී.අයි.ඩී යට මේ ජනාධිපතිවරයාගේ ළඟම හිතයිශීයෙන් යම් බලපෑමක් කරලා තියෙනවා, මේ මාධ්‍ය ආයතනය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ඕනේ කියාලා. ඇත්තටම මේ වගේ වැරදි අනාවරණය කරන මාධ්‍ය ආයතනවලට නෙවෙයි දඬුවම් කරන්න ඕනේ මේ වගේ ඉහළ උසස් තනතුරුවලට ඇවිල්ලා රටේ ජනතාවගේ ජන ජීවිතයට බලපාන තීන්දු තීරණ කෙරෙහි බලපෑම් කරන්න පුළුවන් පුද්ගලයින්ගේ හැසිරීම සම්බන්ධයෙනුයි මේ ජනාධිපතිවරයා ක්‍රියාත්මක වෙන්න ඕනේ.

දේශපාලන වේදිකාවේත් මේ සම්බන්ධයෙන් සංවාදයක් මතුව තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික රාමලිංගම් චන්ද්‍රසේකරන්,

මේ තත්ත්වය බලලා ලෝකය හිනා වෙනවා. ඔහු ඉල්ලා අස්වීම පමණක් ප්‍රමාණවත් නෑ, උපදේශකවරුන්, මෙවැනි ක්‍රියාමාර්ගවල යෙදෙනවා නම් මේ අයගේ නායකයින්  හැසිරෙන විදිහ ගැන ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඔහුට දඬුවම් ලබා දිය යුතුයි. මේ රටේ ජනතාව මර්දනය කරන ක්‍රියාමාර්ගවල තමයි රනිල් රාජපක්ෂලා යෙදුවෙන්. අද ඒ හිංසනය බල්ලන්ටත් සිදුවෙලා තියෙනවා. එවැනි පුද්ගලයින්ගෙන් මේ රට බේරාගත යුතුයි.

සමගි ජන බලවේගයේ පා.ම සරත් ෆොන්සේකා,

මේ රටේ බල්ලෙකුටවත් ආරක්ෂාව නෑ කියලයි එකෙන් පේන්නේ. රජයේ වැඩ හින්දා සුනඛයෙකුටත් ආරක්ෂාවක් නැහැ.සුනඛයෙකුටත් නිසි ගෞරවය ලැබෙන්නේ නැහැ
 
ප්‍රශ්නය,

මේ වගේ පුද්ගලයින්ට දඬුවමක් දීමේ හැකියාවක් තියනවා ද?

සමගි ජන බලවේගයේ පා.ම සරත් ෆොන්සේකා මහතා,

පිස්සු බල්ලෙක් දාලා හප්පවන්න ඔන.

ප්‍රශ්නය,

අපිට ආරංචියක් තියනවා මේවා වර්තා කළ මාධ්‍ය මර්දනය කරන්න හදනවා කියලා?

සමගි ජන බලවේගයේ පා.ම සරත් ෆොන්සේකා මහතා,

එහෙම දඬුවම් කරන්න බැනේ. දඬුවම් කරලා බලන්න කියන්නකෝ. නීතිය අතට ගන්න දෙන්න බෑ

දූෂණ විරෝධී හඬ කැඳවුම්කරු වසන්ත සමරසිංහ,

දැන් රටක රාජ්‍ය නායකයෙක් තමන්ට උපදෙස් දෙන්න මනුස්සයෙක් තෝර ගන්න ඕනේ උපදෙසක් ගන්න. හැබැයි රනිල් තෝරගෙන තියෙන්නේ උපදෙස් වෙනුවට මට හිතෙන්නේ අත්දැකීම් බෙදාගන්න. ඒ නිසා මේ තමයි නායකයෙක්ගේ දුර්වලතා පේන තැන්. මේකෙන් ඉවත් වෙලා අපිට තියෙන ප්‍රශ්නේ හෙට අනිද්දා වෙනකොට රටක තානාපති කරලා යවන්නත් ඉඩ තියෙනවා රනිල් මේ හාදයෝ ටික. අපි කියන්නේ උපදේශක විතරක් නෙමෙයි රනිලුත් ජාතියෙන් සමාව අරන් ඉල්ලා අස් වෙන්න ඕනේ. රටේ මිනිස්සුන්ට කියන්න ඕනේ දැන් මේ රටට කරන අවමානය, ජනතාවට කරන අවමානය ජනතාව පීඩාවට පත් කරන මේ වැඩ අස්සේ අලුත් විහිලු සපයනවා ජනතාවට. අයිස් විහිලුවලින් පස්සේ අලුත් විහිලු සපයනවා රනිල්ගේ ගෝලයෝ එකතු වෙලා. එ නිසා ජනාධිපතිගේ රටේ නායකයාගේ තියෙන දුරුවලකම මිස, තමන්ට වැඩ බැරිකම මිස මේ උපදේශකයන්ගේ විදිහ. එතකොට රනිල්ගේ විදිහද මේ උපදේශකයන්ගේ විදිහ. ඔන්න නීතිපොත් තියෙනවා. ඔන්න රටේ නීතිය තියෙනවා. නීතිය ක්‍රියාත්මක කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන මහලොකු ලෝයර් රනිල්. තමන්ගේ උපදේශකයාට නීතිය ක්‍රියාත්මක කරන්න එහෙනම්. ඒ නිසා රටක මිනිස්සු බලන් ඉන්නවා දැන් මේවා දිහා

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම,

ඉතාම අප්‍රසන්න ඉතාම පිළිකුල් සහගත ප්‍රවෘත්තියක්. සුරතල් සතෙක්ව අපයෝජනය කළා කියල කියන එක දේශපාලනඥයෙක් විසින්. ඒ කියන්නේ ඊළඟ සටන් පාඨය ගොඩනැගෙන්නේ මේ රටේ සම්පත් හූරගෙන කාපු මේ දේශපාලනඥයෝ දැන් අඩු ගානේ බල්ලෙක්ටවත් ඉන්න දෙන්නෙ නැහැ කියන මට්ටමට නෙමේ සටන් පාටය ගොඩනැගෙන්නේ. ඒ නිසා මේක අපි විහිලුවක් බවට පත් කර ගන්නත් හොඳ නැහැ. නමුත් මේක අපේ ශ්‍රී ලාංකීය සමාජයේ පිරිහීම පෙන්නුම් කරන එක දර්ශකයක්. ජනාධිපතිවරයාටත් පුද්ගලිකවම ඔහුගේ දේශපාලන ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා නිසා බරපතළ අර්බුදයක්. ඒ කියන්නේ ලැජ්ජා සහගතභාවය කිසිලෙසක කිසිම මාත්‍රාවකින් කිසිවෙක්ට අඩු කරන්න පුළුවන් එකක් නෙමෙයි.

ප්‍රශ්නය, 

ඔබතුමා විශ්වාස කරන්නෙ නැද්ද රටේ තීන්දු තීරණ ගන්න තැන්වල යහපත් මානසිකත්වයක් තියෙන අය සිටිය යුතුයි කියලා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම,

මේක එක පැත්තකින් wake up call එකක්. බරපතළ දරුණු නින්දක ඉන්න සමාජයකට. නිද්‍රාවක ඉන්න ජනතාවකට රටකට සමාජයකට wake up call එකක්. ඉතාම බරපතළ කාරණාවක්. එල්ල වෙච්ච ඉතාම නින්දනීය ඇඟිලි දිගුවක් තමයි මේ සිද්ධ වුණේ.