නත්තල් දේව මෙහෙයන් දිවයින පුරා දේවස්ථානවලදී

නත්තලේ ප්‍රධාන දේව මෙහෙය අගරදගුරුතුමාගේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පන්නිපිටිය ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේ දී

by Staff writer 24-12-2022 | 8:26 PM

COLOMBO ( News 1 st ) - තවත් හෝරා කිහිපයකින් අසිරිමත් නත්තල උදා වීමට නියමිතයි. 

නත්තල පිළිගැනීම සඳහා මේ වනවිටත් ලොව පුරා කිතුනු බැතිමතුන් සමග ලාංකික කතෝලික ජනතාවද එක්ව සිටිති.

පැසිෆික් රටවල ජනතාව මේ වන විටත්,ජේසුස් වහන්සේගේ උපත සිහිපත් කෙරෙන අසිරිමත් නත්තල සමරමින් සිටින්නේ දේව මෙහෙයන්ට සහභාගි වෙමිනි. 

මෙරට ප්‍රධාන දේව මෙහෙය අද(24) මධ්‍යම රාත්‍රියේ පන්නිපිටිය ක්‍රිස්තුරාජාණන්ගේ දේවස්ථානයේ දී  පැවැත්වේ. 

ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ, ගරු ජුඩ් ක්‍රිශාන්ත පියතුමා  අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, අද(24) රාත්‍රී 11.45 ට දිවයින පුරා දේවස්ථානවල දී  දිව්‍ය පූජාවන් පැවැත්වෙන අතර ප්‍රධාන දේව මෙහෙය අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවයි.

 එසේම නත්තල් දේව මෙහෙයන් වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ ය. 

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ,දිවයින පුරා දේවස්ථාන සඳහා මෙන්ම ඒ අවට ආරක්ෂාව ලබා දීමටත්,රථ වාහන පාලන කටයුතු සිදු කරමින් බැතිමතුන් ආරක්ෂාව තහවුරු කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු සුදානම් කර ඇති  බවයි. 

මේ අතර නත්තල වෙනුවෙන් බන්ධනාගාරගතව සිටින රැඳවියන් 309 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව ලබා දීමට ද තීරණය කර තිබේ. 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කතෝලික රැඳවියන්හට පමණක් අමුත්තන් හමුවීමට ද හෙට(25) දිනයේ අවසර ලබා දී ඇති බවයි. 

රැඳවියන්ගේ ඥාතීන්  රැගෙන එනු ලබන ආහාර එක් රැඳවියෙකුට පමණක් ප්‍රමාණවත් වන පරිදි රැගෙන ඒමට කටයුතු කළ යුතුය.

උදාවන්නාවු නත්තල ඔබ සැමට සාමය සතුට පිරි සුභ නත්තලක් වේවා යැයි නිව්ස් ෆස්ට් අපගේ පැතුමයි.