දීර්ඝ විදුලි කප්පාදුවක් අත ළඟද?

ගල් අඟුරු ටෙන්ඩරයේ ගැටලු ගොඩයි!: දීර්ඝ විදුලි කප්පාදුවක් අත ළඟද?

by Staff writer 24-12-2022 | 8:35 PM

COLOMBO ( News 1 st ) - විදුලිබිල යළිත් වැඩි කිරීම ගැන මුලු මහත් සමාජයම බරපතල සංවාදයක සිටිද්දී  නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරයේ ගැටලු රැසක් මතුව තිබේ.


මොකක්ද? මේ ගනුදෙනුව..

නොරොච්චෝලේ ලක් විජය බලාගාරය සඳහා ලබන වසරට ගල් අඟුරු සැපයීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන්නේ ඉකුත් 12 වැනිදා  වන අතර එම අනුමැතිය අනුව සැපයුම්කරුවන්ගෙන් සහ ආණ්ඩු අතර සිදුවන ගනුදෙනුවක් ලෙස ණය පහසුකම් යටතේ ගල් අඟුරු සැපයීම සඳහා මිල ගණන් කැඳවා තිබේ. 

විෂයභාර අමාත්‍යවරයා ඉකුත් 19 වැනිදා මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය ඉදිරිපත් කර තිබෙන්නේ ඉදිරිපත්වූ මිල ගණන්, සැළකිල්ලට ගෙන ගල් අඟුරු මිලදී ගැනීමේ ඉදිරි  ක්‍රියාවලිය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂාවෙනුයි.

ප්‍රසම්පාදන මාර්ග උපදේශ අනුව මිල ගණන් කැඳවා, තාක්ෂණික ඇගයීම් ද සිදුකොට තෝරාගත යුත්තේ සුදුසුකම් සැපිරූ එක් ලංසුකරුවෙකු වන අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා සිටිය යුත්තේ, අදාළ සුදුසුකම් සැපිරෑ ලංසුකරුවා ගෙන් එම මිලදී ගැනීම සිදු කිරීමටයි. 

එනම්, අමාත්‍ය මණ්ඩලය අනුමැතිය දිය යුත්තේ, නිශ්චිත හා නිරවුල් මුදලක් වෙනුවෙනි.

එහෙත් ,විෂයභාර අමාත්‍යවරයාගේ මෙම අමාත්‍ය මණ්ඩල සංදේශය හිස් චෙක් පතක් බඳු එකකි.

මීට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දීම යනු, හිස් චෙක්පතකට අත්සන් කිරීම හා සමානයි. 

අමාත්‍යවරයා මුලින්ම සඳහන් කර සිටින්නේ, ගල් අඟුරු මෙට්‍රික් ටොන් 7,2000ක්  එක් මෙට්‍රික් ටොන් එකක්  අමෙරිකානු ඩොලර් 240  බැගින් වන පරිදි සැපයීමට ඉන්දුනීසියානු සමාගමක් තෝරා ගෙන ඇති බවයි. 

මෙම සංදේශයට අනුව ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අවශ්‍ය සුදුසුකම් සපුරා අඩුම ලන්සුව ඉදිරිපත් කර ඇත්තේ අදාළ ඉන්දුනීසියානු සමාගම බව පෙනී යන අතර ඒ අනුව එම සමාගමෙන් ගල් අඟුරු මිලදී ගැනීම සඳහා ලංකා ගල් අඟුරු පුද්ගලික සමාගමේ සභාපතිවරයාට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලෙස  මෙම සංදේශයේ සඳහන් ය. 

එහෙත්, අඩුම ලංසුකරු තෝරා ගනු වෙනුවට මිල ගණන් ඉදිරිපත් කළ සියළු ලංසුකරුවන් අදාළ ප්‍රසම්පාදන කමිටුව විසින් තෝරාගෙන තිබෙන බවත්, මෙම සන්දේශයෙන් තහවුරු වේ.

මන්ද, අමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලයෙන් අනුමැතිය ඉල්ලා සිටින්නේ සුදුසුකම් සැපිරූ පළමු සමාගම එනම් , අඩුම ලන්සුව ඉදිරිපත් කළ සමාගම අදාළ සැපයීම් කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේ නම්, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී තුන්වැන්නා ලෙස ලැයිස්තු ගත කෙරුණු ඔස්ට්‍රේලියානු සමාගමකට කොන්ත්‍රාත්තුව පිරිනැමීටයි.

එම සමාගමේ ලංසුව කවරක්ද? යන වග අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට වසන් කරන අතර පළමු ලංසුකරු හා තුන්වන ලංසුකරු සැපයීම් කොන්ත්‍රාත්තුව සම්පූර්ණ කිරීමට අසමත් වන්නේ නම්, හතරවන ලංසුකරුට කොන්ත්‍රාත්තුව ප්‍රදානය කළ යුතු බව අමාත්‍යවරයා අමාත්‍ය මණ්ඩලයට නිර්දේශ කර තිබෙන්නේ එම සමාගමේ  මිල ගණන්ද අනාවරණය නොකරය. 

සමස්ත ප්‍රසම්පාදන ක්‍රියාවලියට අදාළ තාක්ෂණික ඇගයීම් කමිටු වාර්තා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටීමට අමාත්‍යවරයා වගබලා ගෙන තිබේ.

පළමුවන ලංසුකරු හා තුන්වන ලංසුකරු අසමත් වන වටපිටාවක් තුළ විකල්පය ලෙස තෝරා ගැනීමට අමාත්‍යවරයා නිර්දේශ කරන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සමාගම ගල් අඟුරු මෙරටට සැපයීම සම්බන්ධයෙන් ආන්දෝලනයට ලක්වූ එකකි.

රටේම ආර්ථීකය අර්බුධයට ගොස් ඇති මොහොතක,රටේ ආර්ථික අර්බුධය නිසා ජනතාවට පටි තද කරගන්නැයි බලධාරීන් කියද්දී සැක සංකා මතුවන ගණුදෙනු සිදු කිරීම අර්බුධයත් වාසියට පෙරලාගැනීමක් යයි සැක සිතෙත තත්වයක් නොවේද?