තේරීම් භාර නිලධාරීන් නම් කරමින් ගැසට් නිවේදනයක්

පළාත් පාලන ඡන්ද විමසීම: තේරීම්භාර සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

by Staff writer 22-12-2022 | 6:19 AM

COLOMBO (News 1st) - පරිපාලන දිස්ත්‍රික්ක 25 සඳහා තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන් නම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ 4(1) වගන්තිය ප්‍රකාරව, මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව තේරීම්භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරයාත්, සහකාර තේරීම් භාර නිලධාරියා ලෙස අදාළ දිස්ත්‍රික්කයේ නියෝජ්‍ය හෝ සහකාර මැතිවරණ කොමසාරිස්වරයාත් කටයුතු කරනු ඇති. 

මේ අතර ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා පෙර සූදානමක් ලෙස සාකච්ඡා වට කිහිපයක් මේ දිනවල පැවැත්වෙන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි.

එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, තේරිම්භාර නිලධාරීන් ලෙස කටයුතු කරන දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවක් අද (22) පැවැත්වෙන බවය.

හෙට දිනයේ සියලුම දිස්ත්‍රික්කවල නියෝජ්‍ය සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් මැතිවරණ කොමිසමට කැඳවා ඇති බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.