ජනපති නියමයෙන් ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක්

ජනපති නියමයෙන් ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් පිහිටුවීමේ තීරණයක්

by Staff writer 22-12-2022 | 3:51 PM

COLOMBO ( News 1 st ) - අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් මෙරට පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ ආයතන වෙන් වෙන්ව ගනු ලබන ප්‍රවේශයන්හි අඩුපාඩු මඟහරවා ගනිමින් එම කටයුතු වඩා කාර්යක්ෂම සහ විධිමත් කර ගැනීම වෙනුවෙන් මෙම නව කාර්යාලය ස්ථාපනය කෙරෙනු ඇති බවයි.

ජාත්‍යන්තර වෙළෙඳ අංශයන්හි උපරිම දායකත්වය රටේ ආර්ථිකයට ලබාදීම මෙමගින් සිදුවේ. 

භාවිතයට නොගෙන සැඟවී ඇති වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍රයන්හි විභවතා ආර්ථික පුනර්ජීවනය සඳහා යොදා ගැනීම රජයේ ආර්ථික සංවර්ධන වැඩසටනෙහි මූලික අංගයකි. 

ඒ අනුව, පළමුව දකුණු ආසියාව සමග සම්බන්ධ වී පසුව නැගෙනහිර දක්වා ව්‍යාප්ත වෙමින් චීනය, තායිලන්තය හා ඉන්දුනීසියාව සමග සම්බන්ධ වීම මෙහි අරමුණයි.

මෙම ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපනය කිරීමට නියමිතව ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති කීර්තිමත් උපදේශක කණ්ඩායමක් ඒ සඳහා පත් කිරීමට නියමිත අතර ජාත්‍යන්තර වෙළෙඳ තානාපතිවරයෙකු විසින් එම කාර්යාලයේ කටයුතු මෙහෙයවනු ඇති.

අදාළ සියලුම ආයතන මගින් නම් කරන ලද නියෝජිතයින් ඇතුළත් ආයතනික ව්‍යුහයකින් මෙය සමන්විත වනු ඇති අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා සිදු කරන ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව ද මෙම ආයතනයට ඒකාබද්ධ කරනු ලැබේ.

ජනාධිපති මාධ්‍ය අංශය  සඳහන් කළේ,මෙම ජාත්‍යාන්තර වෙළෙඳ කාර්යාලය පළමුව මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවනු ලබන අතර පසුව එය විදේශ කටයුතු අමාත්‍යාංශයට ඒකාබද්ධ කෙරෙන බවයි.